“එජාප යේ කුලල් කා ගැනීම මට වාසියි”  මෛත්‍රී කියයි!

එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ කුලල් කාගැනීම නිසා ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් තමන් වටා එක් වෙමින් තම ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ඇතුමල්පිටිය ලක්ෂ උයන තම ගම්වාසීන් සමග පෙරේදා (19) සවස පැවති ජනහමුවේ දී ය. එහි දී ඒ මහතා මෙසේද කීය.

“මේ රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ කාලේ මුළු ලෝකෙටම මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය දුගී බව දුප්පත්කම. දුප්පත්කම නැති කරන්න හැම ආණ්ඩුවක් ම ප්‍රයත්න දරලා තියෙනවා. රජවරුන් පස් දෙනෙක් කරපු මහ වැව් සියල්ල පුරවන්න සාගරයක් වාගෙ ජලාශයක් මම හැදුවා මොරගහකන්ද ජලාශය. තව අවුරුදු 5 ක් විතර යනකොට පොලොන්නරුව වෙනස් වේවි. වෙනදාට මේ කාලේ වහිනවද නෑ. දැන් ජුලි මාසෙත් වහිනවා. වෙනදා නම් මේ කාලෙට වතුර නැතුව උද්ගෝෂණ පෙළපාලි ගොවි අරගල වතුර ඉල්ලලා. අද පොලොන්නරුවේ වැව් ඔක්කොම පිරිලා. සශ්‍රීකත්වයෙන් හොද පැත්තට යන දිස්ත්‍රික්කයක් බවට පත් වෙලා තියෙනවා. හෙමින් හෙමින් තෙත් කළාපයක තියෙන ලක්ෂණ පෙන්වමින් තිබෙනවා. ඒක අපේ ජනතාවගේ වාසනාව. ඒ නිසා වර්තමාන ජනාධිපති ගෝඨාභය මහතාට ශක්තිය ලබා දෙන්න ඕන. අද බොහොම පැහැදිලියි රටේ තත්ත්වය ගත්තාම අද විපක්ෂයේ ඇති වෙලා තියෙන දුර්වලතාවක් නිසා විපක්ෂයේ සමගියක් නැති නිසා, විපක්ෂය කෑලි කෑලිවලට කැඩිලා නිසා එක්සත් ජාතික පාක්ෂිකයින් ලොකු හිත් වේදනාවකින් ඉන්නේ. මේ එක්සත් ජාතික පක්ෂෑ නායකයින් ගෙ කුලල් කෑම නිසා. ඒ නිසා ගම්වල ගියාම එක්සත් ජාතික පාක්ෂිකයින් මගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දෙනවා. සමහර ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ විතරක් මගෙන් වෙලාව ඉලාගෙන වෙනම ‍රැස්වීම් සංවිධානය කරලා තියෙනවා. ඒ අයට මගේ විශේෂ ගෞරවයක් හා ස්තුතියක් පිරිනමනවා. මම ගැන විශ්වාසයක් තබලා කටයුතු කර තිබීම ගැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මාව හය සැරයක් පාර්ලිමේන්තු යැව්වා. ජනතා විමුක්ති පෙරමුණේ අයත් 2015 මට තමයි ඡන්දය දුන්නේ. ඒ නිසා අද පක්ෂ භේදයක් නෑ. ඒ තත්ත්වය තුළ අපට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. උදෙන්ම අගෝස්තු 05 දා ඡන්දය දාන්න යන්න. මොකද 12 පස්සේ යන්න හිතන්න එපා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දිග පෝලිම් ආවොත් ප්‍රශ්නයක්. ඒක නිසා උදෙන්ම ඡන්ද පොලට යන්න. ගොඩක් අය දැන් මට කියන්නේ හතේ මහත්තයා කියලා. ඒ අංකය මතක තියා ගන්න. ගමේ මහත්තයා හතේ මහත්තයා පොලොන්නරුව වෙනස් කලේ. එයාට ඡන්දය දෙන්න.”

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම