සතොස සභාපතිගේ දුෂණ වංචා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

ලංකා සතොස සභාපතිවරයාගේ දුෂණ වංචාවක් ඇති බවත් ඒ් නිසා ඔහුගේ ආදායම් හා වත්කම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා මහජන අයීතීන් සුරැකීමේ පදනම විසින් අද (10) දින අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් වෙත කර ඇති මෙම පැමිණිලේ වග උත්තරකරු වන්නේ ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතාය. ශ්‍රී ලංකාව තුළ ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය තුළදී, සතොස සභාපතිවරයා විසින් සතොසට අයත් ලක්ෂයකට ආසන්න සැමන් ටින් තොගයක් ඔහුගේ නිල බලතල උපයෝගී කරගනිමින් හමුදාවේ කෑම සපයන පෞද්ගලික සමාගමක් වෙත එක් සැමන් ටින් ඇසුරුමක් රුපියල් 98 ක මුදලකට අලවි කර තිබෙන බව මෙම පැමිණිල්ලෙන් කියා සිටියි.

එකී සමාගම අදාළ සැමන් ටින් ඇසුරුමක් නැවත ශ්‍රී ලංකා හමුදාව වෙත රු. 185 මුදලකට අලෙවි කර තිබේ.

2020 ජනවාරි මාසයේ සිට ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස පත්වීම් ලබා ඇති නුෂාඩ් පෙරේරා මහතාගේ තීන්දු තීරණ නිසා ආයතනයට සිදු වූ අලාභ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් හා අභ්‍යන්තර විගණනයක් පවත්වන ලෙසට ලංකා සතොස ආයතනය බාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර තිබෙන බවද මහජන අයිතීන් සුරැකීමේ පදනම වැඩිදුරටත් ඒම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඒහි අන්තර්ජාල ලිපියද මෙම පැමිණිල්ලට ඉදිරිපත් කර ඇති අතර මෙම සභාපතිවරයාගේ දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු ඇතුළත් විශේෂ වීඩියෝ වැඩසටහනක් ගැනද සංයුක්ත තැටියක් මඟින් ඉදිරිපත් කර ඇත.

මොහු අල්ලස් හෝ දූෂණ පනතේ 70 වගන්තිය කඩ කරමින් කටයුතු කර ඇති බවට සාධාරණ සැකයක් මතු වි ඇති බවත් ඒ් නිසා මේ ගැන විධිමත් විමර්ශනයක් පවත්වමින් ඔහුගේ ආදායම් හා වත්කම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසත් මහජන අයිතීන් සුරැකීමේ පදනම වැඩිදුරටත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

-ශානිකා-

Social Sharing
නවතම