වෙච්ච දේත් එක්ක විපක්ෂය ඉදිරි දිනවල කරන්න යන දේ!

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග ජනපති අතර සාකච්ඡා අසාර්ථක වුනේ ඇයි?

ශ්‍රීලනිපය, පක්ෂ 11 එකමුතුව සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම ඇතුළත් මන්ත්‍රීවරු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මන්ත්‍රී කණ්ඩායම පාර්ශවයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද මූලික ම යෝජනාව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවට රාජපක්ෂවරුන්ගෙන් තොර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය.

කෙසේවෙතත්, එම යෝජනාවට ජනාධිපතිවරයා මූලික වශයෙන් ම එකඟ වී නොමැත. ඊට හේතුව ලෙස හෙතෙම දක්වා ඇත්තේ තවමත් පාර්ලිමේන්තුවේ සරළ බහුතරය වන 113 මන්ත්‍රී පිරිසක් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සතුව බැවින් තමන්ට ඔහුව ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවය.

මෙහිදී මන්ත්‍රී කණ්ඩායම විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ජාතික විධායක සභාවක් පිහිටුවීම, ණය සහන කාලයක් ඉල්ලා සිටීම, වරප්‍රසාද නොලබන කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සහ 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආදී යෝජනා 11 ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට තිබේ.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන ගෙන එනවා වෙනුවට දැනට සකස් කොට ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලෙසය. ඒ අනුව, සමස්තයක් වශයෙන් අදාළ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

මේ අතර, ආසන 113 ක සරළ බහුතරය නොමැතිව විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය වෙත දැනුම් දී ඇති අතර, සරළ බහුතරය නිශ්චිතව සකස් කර නොගෙන ඉදිරිපත් කරන විශ්වාසභංගය සඳහා තමන්ට අත්සන් කළ නොහැකි බව ද ඔවුන් දන්වා තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මෙසේ නිශ්චිත සරළ බහුතරයක එකඟතාවයකින් තොරව ගෙන එන මෙම විශ්වාසභංග යෝජනාව පරාජය විය හැකි බවය. එය ආණ්ඩුව මේ අවස්ථාවේ ලබන ජයග්‍රහණයක් වන අතර, ඉන් ඔවුන් තවත් ශක්තිමත් වී ස්ථාවර වන බව ද ඔවුන් සජබය වෙත පෙන්වා දී තිබේ.

සුමන්දිරන් ගේන්න යන යෝජනාවට සජබ එකඟ වෙයි?

තත්ත්වය මෙසේ තිබියදී, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හැකි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. එයට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ සහාය හිමිවීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතියි.

චන්ද්‍රිකා මෙවර සූදානම් වෙන්නේ කුමකටද?

මින් පෙර ආණ්ඩු සෑදීමේ දී ප්‍රමුඛ කාර්‍යයභාරයක් ඉටු කරන ලද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින්  පසුගිය දිනෙක සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හැර අනෙකුත් ප්‍රධාන පෙළේ විපක්ෂ දේශපාලකයන් සහභාගි වී තිබේ.

එහිදී කුමාරතුංග මහත්මිය පෙන්වා දී ඇත්තේ වර්තමානය වන විට ජන බලය ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව සතුව නොපවතින බවය. මෙවැනි තත්ත්වයක්  තම අවුරුදු 76 ක ජීවිත කාලය තුළ කිසිම අවස්ථාවක තමන් දැක නොමැති බව ඇය පවසා තිබේ. ඒ අනුව පාරට බැස සිටින ජනතාව සමග පාර්ලිමේන්තුවේ සිටින අය සම්මුතියකට පැමිණ මෙම අර්බුදය විසඳා ගත යුතු තැනට පැමිණ ඇති බව ද ඇය පෙන්වා දී තිබේ.

විශ්වාසභංගය, දෝෂාභියෝගය, ජනතාව සමග ඇති කරගන්නා සම්මුතීන් යනාදිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන කමිටුවක් ද අදාළ හමුවේ දී පත් කරගෙන තිබෙන බව වාර්තා වේ.

උපුටා ගැනීම : නිව්ස්පීඩියා

Social Sharing
නවතම