ඉන්දියාවේවත් නොමැති ගුවන් ශල්‍යාගාර සේවයක් ආරම්භ කරනවා – රනිල්

සුවසැරිය ගිලන් රථ සේවාව අභිබවාගිය ඉන්දියාව තුළවත් නොමැති ශල්‍යාගාර ප්‍රතිකාර  නව  සේවයක් ඉදිරියේ දී ආරම්භ කරන බව  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සුවසැරිය ගිලන් රථ සේවාව තමන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාට කෘතවේදීත්වය පළකරන බවත් එවැනි ම සේවයක් ඉදිරියේදී දියත් කිරීමට අපේක්ෂා කරන බව මහනුවර හාරිස්පත්තුව පැවති ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට පවතින වාහන තදබදය අනුව ගිලන් රථයකට රෝගියා වෙත ළඟාවීමට යම් ප්‍රමාදයක් සිදුවන නිසා යතුරු පැදියක් උපයෝගී කරගත් වෛද්‍යවරයකු රෝගියා වෙත ගිලන් රථයට ප්‍රථමයෙන් පැමිණෙන සේවයක් ඉන්දියාවේ ක්‍රියාත්මක වන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රමය අභිබවා යමින් ගුවනින්  ළඟාවීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන බව කීවේය.

මෙම සංකල්පය ඉන්දියාවේ වත් නොමැති බව කී රනිල් වික්‍රමසිංහ මහතා වාහන තදබදය පවතින ස්ථානයක් වෙත ගිලන් රථයක් යැවීමට වැඩි කාලයක් ගත වන බැවින් හෙලිකොප්ටරයක් සුළු වේලාවක් තුළදී රෝගියා වෙත යැවීමේ හැකියාව පවතින බව කීවේය.

කොරෝනා නිසා මැතිවරණ රැස්වීම් පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනය මුද්‍රණය කරන බව සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රකාශ කරනවා. ඉකුත් ජූනි මාසයේදී ඉදිරිපත් කරන ලද යෝජනා අද වන තෙක් ප්‍රමාදවීම ගැන මම ඇමතිතුමියගෙන් අසනවා මෙතුවක් කල් පොල් ගෑවාද කියලා? එසේ නැත්නම් මනාප සොයාගෙන ගියාද කියලා? ප්‍රමාද වීම පිළිබදව මම ඇමතිවරියගෙන් අසන්න කැමැතියි. ඇය ප්‍රකාශ කරන්නේ නැත්නම් අපි ආණ්ඩුවෙන් අහනවා.

ආණ්ඩුය මේ වන තෙක් පී.සී.ආර් පරීක්ෂණ  පවත්වා තිබෙන්නේ  එක්ලක්ෂ තිස්දෙදහස් හත්සිය අනූහයයි. අපි කියන විදියට දිනකට පරීක්ෂණ පන්දහසක් කළා නම් අද පරීක්ෂණ ලක්ෂ පහ ඉක්මවා ගිහිල්ලා. අපට වඩා දුක්පත් රටවල් වන නේපාලය, උගන්ඩාව වැනි රටවල් පවා අපට වඩා පරීක්ෂණ පවත්වා තිබෙනවා.

දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා වර්ජනයකට යන තත්ත්වයක් තිබෙනවා. කොරෝනාව පාලනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ සැලැස්මක් තිබෙනවා. ඒ සඳහා දිනකට පී.සී.ආර් පරීක්ෂණ පන්දහසක් පැවැත්විය යුතුයි. පාසල් හා අධ්‍යාපන ආයතන සඳහා නොමිලේ මුඛ ආවරණ මිලියන දහසක් ලබා දෙනවා. වෙන්ටිලේටර් යන්ත්‍ර දෙදහසක් ලබා දෙනවා. පී.පී. ඇදුම් කට්ටල සුලභ කිරීම, දැඩි සත්කාර ඒකකයේ ඇදන් ප්‍රමාණය ඉහළ නැංවීම ආදිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටත් සිදුකරනවා.

කොරොනාව මැඩලීමට මෙන්ම සෞඛ්‍යය සේවය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම