පිදුරංගල ඉඳන් සීගිරිය දෙස බලන්න…!

මොහාන් රාජ් මඩවලගෙ ලිවීමේ ශෛලීය,  අනිත් නවකතාකරුවන්ගෙ ලීවිම් ශෛලිය එක්ක සංසන්ඳනය කරද්දි සෑහෙන වෙනස්. නිතර පොත් කියවන කෙනෙක්ට ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වෙන ලේඛන ශෛලිය අඳුන ගන්න හරි ඉක්මනට පුලුවන්. සන්නස්ගලගෙ භාෂාව වෙනස්. මොහාන් රාජ් මඩවලගෙ භාෂාව ඊටත් වඩා වෙනස්.

මඩවලගෙ පොත් වලටම විශේෂ මේ ලේඛන ශෛලියට මම හරි ප්‍රියයි සහ මට ඒ පොත් මාර රහයි. ඒ හැමපොතම වගෙ මම එක දවසින් කියවල ඉවර කරේ ඒ නිසාම වෙන්නැති..

I.D, ලොවීනා, මාගම් සෝලිය, නිල් කට්රොල් වගෙ හැමපොතම වර්ථමාන කතාවෙන් පටන් අරන් අතීත කතාව දක්වා ගිහින් ආයෙමත් වර්තමාන කතාවට එනවා. හරියට ෆිල්ම් එකක් වගෙ. ඒ නිසා මොහාන් රාජ් මඩවලගෙ පොත් කියෙව්වම ෆිල්ම් එකක් බැලුවා හා සමාන හැඟීමක් තමයි මට නම් තියෙන්නෙ.

ඒ වගෙම තමයි ඉතිහාසය එක්ක බැඳුනු ප්‍රබන්ධ කතා. බොහෝ දුරට ඉතිහාස කතා ලියවුනෙ ලියන්නන්ගේ රුචි අරුචිකම් අනුව නිසා සමස්තයක් විදියට ගත්තම ඉතිහාසය සෑහෙන්න ප්‍රබන්ධයක් වෙන්න පුලුවන්.

මොහාන් රාජ් මඩවලගෙ පොත් වල තියෙන මම ප්‍රිය අනිත් කාරණේ තමයි හරි ලස්සනට පොත ඇතුලෙ ලිංගිකත්වය දිගාරින එක. ලිංගිකත්වය සම්බන්ධ කරලා ඕන මනුස්සයෙක්ට පොතක් ලියන්න පුලුවන් සහ එහෙම ලියපු පොත් මම කියවලත් තියෙනවා. ඒ උනාට ඒ පොත් වල සාහිත්‍යයමය රසයක් නෑ. කිසිම සාහිත්‍යයමය රසයක් නැතුව ලිංගිකත්වය විතරක් තිබ්බම ඒ පොත මාර එකක් වෙන්නේ නෑ. හැබැයි මඩවලට පුලුවන් පොත ඇතුලෙ SEX  කියන කොටස අන්තර්ගත කරලා පොත මාරයි කියන තැනට පත් කරන්න සහ මිනිස්සුන්ට දැනෙන රහක් දෙන්න.

ලිංගිකත්වය කියන්නෙ සමස්ත ලෝකයෙම ෆවුන්ඩේෂන් එක උනත් මිනිස්සු ළඟ එහෙම නිදහසක් නෑ. ඒ නිසාම මිනිස්සුන්ගෙ ටේස්ට් එක තියෙන්නෙ එතන කියලා මඩවල අඳුනගෙන තියෙනවා. පොත කියවන පාඨකයගෙ රුචි අරුචිකම් වලට ගැළපෙන විදියට පොතක් එළියට දාන්න පුලුවන් නම් ඒ ලේඛකයා වැඩ්ඩෙක්. මට අනුව මොහාන් රාජ් මඩවල කියන්නෙ හරි නිහතමානී වැඩ්ඩෙක්. කාලයක් තිස්සෙ නවකතා ලියාගෙන අද්දැකීම් එක්ක ආපු ගමනක සාර්ථකම ප්‍රතිඵලය තමයි, මෑතකදි එළිදැක්වුනු “නිල් කට්රොල්”.

නිල් කට්රොල් සීගිරිය වටා ගෙතුණු කතාවක්. තව විදියකට කිව්වොත් සීගිරියෙ නිර්මාතෘ වෙන කාශ්‍යප වටා ගෙතුණු කතාවක්. කාශ්‍යප කියන්නෙ මං හරි ආදරේ මනුස්සයෙක්. මොකද කාශ්‍යප ඇතුළේ හරි ලස්සන කලාකාමී පුද්ගලයෙක්  ජීවත් වෙලා තියෙනවා. කලා නිර්මාණ කරන කෙනා විතරක් කලාකාරයෙක් වෙන්නේ නෑ. ඒක විඳින කෙනත් කලාකාරයෙක්. ඒක නිසා කාශ්‍යප හරි කලාකාමී මනුස්සයෙක් විදියටයි මං දකින්නෙ. හැබැයි ඉතිහාසය එක්ක බලද්දි පිතෘ ඝාතකයෙක් ලස්සන හදවතක් තියෙන කලාකාමී මනුස්සයෙක් වෙන්නෙ කොහොමද කියන එක හැමෝටම ප්‍රශ්නාර්ථයක්.

නිල් කට්රොල් ඇතුලෙ ඒකටත් උත්තරයක් තියෙනවා. මොහාන් රාජ් මඩවල නිල් කට්රොල් පොත ඇතුලේ කාශ්‍යප කියන මනුස්සයව පිතෘ ඝාතකයෙක් ය කියන ලේබල් එක ගලවලා අයින් කරලා අතිශය කලාකාමී මනුස්සයෙක් විදියට ලේබල් එකක් අලවනවා. පොතේ මම කැමතිම කොටස් ටික තමයි ART එක්ක SEX එකතු වෙන තැන්. අන්න ඒ තැන් නිල් කට්රොල් පොතට මාර රහක් දෙනවා. මොහාන් රාජ් මඩවලගෙ පොත් ඔක්කොගෙන්ම, නිල් කට්රොල් මගෙ හිත උඩින්ම තියෙන්නෙ අන්න ඒක නිසා…

නිල් කට්රොල් කියවන ඕන කෙනෙක්ට පොත ඇතුලෙ ART එකත් එක්ක ජීවත් වෙලා, පිදුරංගල ඉඳන් සීගිරිය දිහා බලන්න පුලුවන් උන බව නං සීයට සීයක් විශ්වාසයි.

ඇත්තටම මේ පොතෙන් එන්නෙත් මී පැණි මිශ්‍ර වැල්මී සුවඳක්!

– අශේනි ජයංගනී

Social Sharing
නවතම විශේෂාංග