මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැතිනම් ඡන්දයක් පවත්වන්න බැරිද?

මහ මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. කවුරුත් බලා සිටි ඊට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කර තිබේ. “2020 අංක 01 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් 19) (ඡන්ද විමසීම්) නියෝග” මැයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමේදී, ගෙන් ගෙට ගොස් අත් පත්‍රිකා බෙදීමේදී සහ ඡන්ද විමසීම පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථානවලදී අනුගමනය කළයුතු රෙගුලාසි පමණක් මෙම ගැසට් නිවේදනයේ දක්වා තිබේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනයෙහි සඳහන් නියෝග කඩකිරීමේදී ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරාදීමක් මෙම ගැසට් නිවේදනයෙන් සිදුකර නොමැති වීම මෙම ගැසට් පත්‍රයෙහි ඇති විශේෂත්වයක් වේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනය යනු හුදෙක් බල රහිත කඩදාසියක් පමණක වීමේ ඉහළ සම්භාවිතාවක් වීම බොහෝ විට මේ අනුව ඉඩකඩ ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එම බලය ලබා නොදෙන්නේ මහජනතාවට පීඩා සිදුවීම වැළැක්වීම සඳහා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ප්‍රකාශ කර තිබුණු අතර ඊට විරෝධය  පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (17) දහවල් සිට කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබිණි.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරනු ලැබුයේ අනුපමේය සේවයෙකි. නමුත් මේ අවස්ථාවේ ඔවුන්ව පඹයින් සේ ගණන් ගෙන පැත්තකට දමා ඇත.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතා ප්‍රකාශ කර සිටින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැතිව මැතිවරණයක් පැවැත්වීම අපහසු බවය. මන්ද මැතිවරණයේ බොහෝ කාර්යයයන් වලට මහජන සෞඛ්‍ය පරිරීක්ෂඛවරුන්ගේ සේවය අවැසි වේ.

-ශානිකා-

Social Sharing
නවතම