කොරෝනා වසංගත පාලනයට අදාළ කටයුතුවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වේ  

ඊයේ (17) දහවල් සිට කෝවිඩ්-19 වසංගත පාලනයට අදාළ සියලුම කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. කෝවිඩ්-19 පාලනයට අදාළ මැතිවරණ මාර්ගෝපදේශ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කළත් “මහජනතාව පීඩාවට ලක්වීම වැළක්වීම සඳහා” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොදෙන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කළ ප්‍රකාශයත්, නීතිමය රැකවරණය රහිතව සිය රාජකාරී කිරීමට නොහැකි වීමත් පදනම් කරගෙන ඉහත කී වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණු බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ නිකුත් කල නිවේදනයක දැක් වේ.

මේ සම්බන්ධව බීබීසී සිංහල සේවයට අදහස් දක්වන උපුල් රෝහණ මහතා පවසා සිටියේ ….”මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ ගැසට් කළත් ඒ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහාත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට අදාළ පියවර ගැනීම සඳහාත් යම් නිලධාරියෙකුට බලය දිය යුතු බවයි. ”  නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සකස් නොකර කොපමණ නීති පනවනු ලැබුවත් ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි බව ඔහු පෙන්වාදෙයි.

මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට යාමේ දී පසුගිය කාලය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුණ දුන් ප්‍රායෝගික ගැටලු පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා පවසා ඇත්තේ  “කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවම සම්පත් සහ මානසික පීඩනයන්ට යටත්ව ජීවිත අවදානම දරා ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශාල කැප කිරීමක් කළා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරිය දිගින් දිගටම කෝවිඩ්-19 පාලනය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ගැසට් කළේ නැහැ. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අදාළ නීතිමය බලතල නිරවුල් කර දුන්නේ නැහැ. මේ නිසා අපිට දිගින් දිගටම මහජනතාව ඉදිරියේ නීතිමය නොවන තත්ත්වයන්ට නිරාවරණය වෙන්න සිද්ධ වුණා.”

“අද පෙරවරුවේ මුද්‍රිත සහ අනෙකුත් මාධ්‍ය සෞඛ්‍ය ඇමතිනිය උපුටා දක්වමින් වාර්තා කළා මැතිවරණයට අදාළ සියලු මාර්ගෝපදේශ ගැසට් කරන්න කටයුතු කළත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට බලය ලබා දීමක් සිදු කරන්නේ නැහැ කියලා. එහි විශේෂයෙන් උපුටා දක්වා තිබුණේ මහජනතාව පීඩාවට ලක් වීම වැලැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය දෙන්නේ නැහැ කියලා,”

“ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය වගේ පරිනත කැබිනට් අමාත්‍යවරියකගෙන් මෙවැනි ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. එතුමිය මහජනතාවට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ, අපි මහජනතාව පීඩාවට ලක් කල බව.” යනුවෙන් උපුල් රෝහණ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා ඇත.

Social Sharing
නවතම