#GohomeGota මොකද්ද මේ?

අද වන විට අපි හැමෝගෙම අතේ ස්මාර්ට් දූරකථනයක් තියනවා, ඒ වගේම තමයි  සමාජ මාධ්‍ය හැම එකකම වගේ අපි සැරිසරනවා. සමාජ මාධ්‍ය වලට කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ්ස් එනවා, එහෙම ආව එක ට්‍රෙන්ඩ් එකක් තමයි හැෂ්ටැග් එකක් දාන එක. මේ හැෂ්ටැග් හඳුන්වලා දුන්නෙ 2013 වසරේ, මුල් කාලෙ එච්චර ලොකු පරාසයක මේවා විහිදිලා නොතිබුනත් මේ වෙද්දී ලොකු කුඩා හැමෝම හැෂ්ටැග් එක්ක පෝස්ට් දාන්න දන්නවා.   ඒකෙන් පෝස්ට් එකේ රීච් එක වැඩි වෙනවා කියලනෙ කියන්නෙ.

ඒක එහෙම වෙද්දී ලංකාවේ මේ මොහොත වන විට ෆේස්බුක් එකේ ද, ට්විටර් එකේද මෙකී නොකී සමාජ ජාලා හැම එකකම වගේ වේගයෙන් පැතිරෙන හැෂ්ටැග් දෙකක් අපිට දැකගන්න පුලුවන්. ඒ තමයි #GohomeGota2022 සහ #GohomeGota කියන හැශ්ටැග්ස්.

මොකද්ද මේ #GohomeGota ??

මේ වෙද්දී අපේ රටේ පාලකයො නිසා ජනතාව අන්ත අසරණභාවයට වැටිලා තියෙන්නෙ. විදේශ සංචිත නොමැති වීම නිසා ආනයන නවත්තලා. ඒ නිසා ආහාර ද්‍රව්‍ය වගේම අනෙක් දේවල් වලත් හිඟයක් ඇති වෙලා. මේ නිසා මිනිස්සු බත් බැඳගෙන පෝලිම් වල රස්තියාදු වෙනවා . ඒ වගේම උවමනාවට වඩා මුදල් අච්චු ගැසීම නිසා මේ වෙද්දී ආසියානු කලාපයේ වැඩිම උද්ධමනය අපේ රටේ. ඒ විතරක් නෙවෙයි ලෝකයෙන්ම උද්ධමනය වැඩිම රටවල් අතරින් අපි ඉන්නෙ 12 වෙනි තැන. ඒ වගේම අනවශ්‍ය මොහොතක දී රුපියල පා කිරීම නිසා මේ වෙද්දී ඇමරිකානු ඩොලරය රුපියල් 254.54ක්. මේ හේතුන් එක්ක බඩු මිළ අහස උසට නැගලා. අද තියෙන මිළ නෙවෙයි හෙට තියෙන්නෙ, ඒ නිසා හෙට ජීවත් වෙන විදිහ ඇත්තටම අවිනිශ්චිත තත්වයකට පත් වෙලා තිබෙනවා. තමන්ගෙ පවුලට කන්න දෙන්න බැරුව මිනිස්සු දිවි නසාගන්න තරමට, අපි ලොකු ආර්ථික අර්බුදයකට මේ වෙලාවෙ මුහුණ දෙනවා. ඒ අපේ පාලකයන්ගෙ අනුවණ ක්‍ර්‍රියාකලාපය නිසා.

ඉතින් මේ දේවල් ඉවසගන්න බැරුව මිනිස්සු ආණ්ඩුවට එරෙහිව කැරලි ගහන්න පටන් අරං. අතන මෙතන හැම තැනම විරෝධතා පා ගමන්. ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය ඔස්සේ ද විරෝධතා පාන්න ජනතාව එක්වෙලා සිටිනවා. එවැනි එක්වීමක් තමයි මේ #GoHomeGota සහ #GohomeGota2022 කියන හැෂ්ටැග්ස්. මේවා තුළින් සරලවම කියන්නෙ අතිගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමන්ට ඉවත් වෙලා ගෙදර යන්න කියලා.

මේ වෙද්දී මෙම හැෂ්ටැග්ස් රැල්ල ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. තරුණ ප්‍රජාව වගේම වැඩිහිටි අයත් මෙවා භාවිතා කරලා තමන්ගෙ ජනමතය සමාජ ජාලා වෙත මුදාහැරලා තිබෙන අයුරු අපිට දැක ගන්න පුලුවන්. ඒ වගේම මෙ වෙද්දී ට්විටර් සමාජ ජාලය තුළ මෙම හැෂ්ටැග්ස් ට්‍රෙන්ඩින්ග් යන අයුරු දැක ගන්න පුළුවන්.

#GohomeGota2022

 

ඇත්තටම මේ වගේ හැෂ්ටැග්ස් වලින් බලපෑමක් වෙනව ද??

ඔව් ඇත්තෙන්ම ලංකාවට මෙය අලුත් දෙයක් උනාට යුරෝපීය රටවල බොහෝ ලෙස මෙය භාවිතා කරනවා. ඒ වගේම ඔවුන් දූෂිත ආණ්ඩු පලවා හැරීමට සමත් වෙලා තිබෙනවා මෙම සම්ප්‍රදාය තුළින්. එම නිසා ලංකාවේ පිරිස ද මෙය අත්හදා බැලීමට යොමු වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ඇරඹුණු රැල්ලෙහි ප්‍රතිඵල අපට දැන්ම විනිශ්චය කරන්න බැහැ. ඒ නිසා අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න සිදුවෙනවා. සමහර විට මෙය ඉතිහාසගත වන කැරැල්ලක් වීමට ද ඉඩ නැතුවාම නෙවෙයි.

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලඳි )

හේෂානී කරුණාරත්න 

Social Sharing
නවතම විශේෂාංග