ඇන්ටාටික් ගවේශණයට ගිය ප්‍රථම නැව සොයා ගනී.

රුසියානු යුක්‍රේන යුද්ධය අතර ලෝක ජනමාධ්‍ය හරහා හමා ගිය පුවතක් මාව අමන්දානන්දයට පත් කලේය. එය නම් විද්‍යාඥයින් විසින්, ශ්‍රීමත් අර්නස්ට් ෂැකල්ටන්ගේ වසර 107 කට පෙර නැතිවූ මුහුදු යාත්‍රාව වන එන්ඩියුරන්ස් සොයා ගැනීමයි.  අර්නස්ට් ෂැකල්ටන් මගේ පරමාදර්ශීය චරිතයකි.  ඡායාරූප ශිල්පී ජේම්ස් ෆ්රැන්සිස් හර්ලිගේ ඡායාරූප ගැන මා කරනු ලැබූ හදෑරීමේදී, අර්නස්ට් ෂැකල්ටන් තීරණාත්මක චරිතයක් විය. ඔහු ප්‍රමුඛ 27 දෙනෙකුගෙන් යුත් ගවේශක කණ්ඩායම ඇන්ටාටික් ගවේශණය සඳහා ගිය නැව අයිස්වල තෙරපී මුහුද පතුලේ ගිලී යන්නේ 1915 නොවැම්බරයේදීය. එදා පටන් සියවසකට අධික කාලයක් තිස්සේ කිලෝ මීටර 3 ක් ගැඹුරු මුහුදු පතුලේ තිබූ මෙම නැවේ අනන්‍යතාවය සහිත නටඹුන් සමුද්‍ර පුරාවිද්‍යාඥයින් පසු ගිය සති අන්තයේදී සොයා ගත්තේය.

endurance ship Ernest Shackleton

මේ සමග ඇත්තේ මා විසින් ඩිජිටල් සංස්කරණය කර නිර්මාණය කල රූපයකි. එහෙත් මා ඒ සඳහා යොදාගත් නැවේ ඡායාරූපය, එන්ඩියුරස් නැව උත්තර ද්‍රවයේ අයිස් අතර හිරවී මුහුදු පතුලේ ගිලී යාමට පෙර ගවේශක කණ්ඩායමේ ඡායාරූප ශිල්පී ෆ්රැන්සිස් හර්ලි විසින් ගත් ඡායාරූපයකි. ඡායාරූපයේ මා යොදා ඇති වගන්ති උපුටා ගත්තේ,  ගවේෂණය සඳහා කණ්ඩායම සොයා ගැනීම සඳහා 1913 දෙසැම්බර් 23 ලංඩනයේ  ද ටයිම්ස් පුවත් පතේ 6 වන පිටුවේ පලකර තිබූ දැන්වීමෙනි. එම දැන්වීම මානව ඉතිහාසයේ විශිෂ්ඨතම වෙළඳ දැන්වීමක් ලෙස සැළකේ.

පැජට් ක්‍රියාවලිය ලෙස හඳුන්වන වර්ණ තිර තහඩු ඡායාරූප තාක්ෂණයේ පුරෝගාමියෙකු වන ඔස්ට්‍රෙිලියානු ජාතික ඡායාරූප ශිල්පී හර්ලිගේ අවධානය ඉහත දැන්වීමට යොමුවේ. ඡායාරූප ශිල්පියා ලෙස ඇන්ටාටික් ගවේශණයට ඔහු එකතු වී ඇත්තේ රාත්තල් 40ක පමණ බරැති ජායාරූප විකාශණ උපකරණ සමගිනි. නමුත් අයිස්වල හිරවන නැවත් සමග ඒ සියල්ල ගිලී ගිය අතර ඉන් පසුව ඉතිරි වූ කුඩා පොකට් කැමරාවක් සහ ෆිල්ම් රෝල් තුනක් පමණක් යොදා ගනිමින්, ඇන්ටාටිකාවේ ගත කල ඉතිරි මාස නවයක කාලය ඡායාරූප  වාර්තා ගත කලේය. ඔවුන් අයිස් මත සිරවී සිටි සම්පූර්ණ කාලය වසර තුනකි. එයින් ජීවිතය ගලවා ගෙන පැමිණි පසු, හර්ලි පලවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධයද ඡායාරූප ගත කලේය.

අනුරුද්ධ ලොකුහපුආරච්චි

ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගනු ලැබීය

Social Sharing
නවතම විශේෂාංග