ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න එකඟවෙයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා යෝජනා කරන සියලු පක්ෂ එකතුවූ සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟවී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි 08 දා හවස ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පැවතී ඇති අතර එහිදී ශ්‍රීලනීපය වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සර්වපාක්ෂික සමුළු යෝජනාව ඇතුලුව කරුණු 15ක යෝජනාවලියක් ජනාධිපතිවරයාට භාරදී ඇත.

මෙහිදී ශ්‍රීලනීපය ප්‍රධාන වශයෙන් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනය වෙන සර්වපාක්ෂික සමුළුවක් කඳවා වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා විසඳුම් යෝජනාවලියක් සකස් කර එය වහාම ක්‍රියාවට නැන් විය යුතු බවය. මෙම යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගත් බවත් මෙම සර්වපාක්ෂික සමුළුව ඉක්මනින් කැඳවීමට තීරණය කළ බවත් සිය ෆේස්බුක් ගිණුම හරහා ශ්‍රීලනීප  ජේෂ්ඨයෙන් වන ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, සාගර කාරියවසම් සහභාගීවී ඇත. ශ්‍රීලනීපය, තම පක්ෂයට පොහොට්ටුවෙන් වෙන හිරිහැර ආදිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දීර්ඝ කාලයක සිට ජනාධිපතිවරයාගෙන් හමුවක් ඉල්ලා සිට ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග ඇතිවූ තත්ත්වය මත ශ්‍රීලනීපය තවදුරටත් ආණ්ඩුව තුළ රඳවා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් මෙම හමුව ලබාදී ඇතැයි දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම