රංජන් රාමනායක නඩු තීන්දුව නැවත සමාලෝචනය කළ යුතු බව AHRC කියයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නීතිය සහ ඒ සම්බන්ධව කෙරෙන භාවිතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජාත්‍යන්තර නීති පද්ධතියත් උල්ලංඝනය වෙන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒම නිවේදනයට අනුව, මයිකල් එම්මානුවෙල් ප්‍රනාන්දු (No: 1189/2003 U.N. Doc. CCPR/C/83/D/2003 (2005), එස්.බී. දිසානායක (U.N. Doc. CCPR/93/D/1373/2005, Communication No. 1373/2005), සහ රංජන් රාමනායක (SC Rule No. 1/2018) යන නඩු පිළිබදව අවධානය යොමු කරමින්, 105 (3) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදී තිබෙන බලය මෑත අතීතයේදී භාවිතා කර තිබෙන ආකාරය සමාලෝචනය කළ යුතු බව ප්‍රකාශ කරයි.

මෙම නඩු ත්‍රිත්වය සදහාම අධිකරණය විසින් දඩුවම් ලබා දී ඇති අතර, ප්‍රනාන්දු නඩුවේදී අධිකරණයේ ශබ්ද නඟා කතා කිරීම සම්බන්ධයෙන් එක් අවුරුදු සිරදඬුවමක් ද, එස්.බී. දිසානායක නඩුවේදී ‘ලැජ්ජා නැති අධිකරණය’ යන වචන අධිකරණයෙන් පිටත ප්‍රසිද්ධ රැස්වීමකදී භාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතල වැඩ සහිත දෑවුරුදු සිර දඬුවමක් ද, රංජන් රාමනායක නඩුවේදී අධිකරණ දූෂණ පිළිබඳ සඳහන් කිරීම නිසා බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිර දඬුවමක් හා සත් වසරක් යනතෙක් පාර්ලිමේන්තු මැතිවරණ තහනමක් ද ලබාදී තිබේ.

ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත්කල ඒම සම්පුර්ණ නිවේදනයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

වහාම නිකුත්කිරීම සඳහා

AHRC-STM-004-2022

2022 පෙබරවාරි 18

ආසියානු මානව හිමිකම් කොමිෂමේ ප්‍රකාශයයි

ශ්‍රී ලංකා:ශ්‍රී ලංකාවේඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීතියසහ භාවිතාවන් මගින්ජාත්‍යන්තර නීතියසහශ්‍රී ලාංකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වේ.

ආසියානු මානව හිමිකම් කොමිෂම (AHRC) යනු කලාපීය මානව හිමිකම් සංවිධානයකි.  අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීතියසහඑය ශ්‍රී ලංකාවේ භාවිතා කරනු ලබන ආකාරය එම සංවිධානය විසින් බැරෑරුම් ලෙස නිරීක්ෂණය හා අධ්‍යයනය කරන ලදී. එම වරද සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන්ට නීතියේ ආරක්ෂාව අහිමිකිරීම හරහා එමගින් ජාත්‍යන්තර නීතිය සහ ශ්‍රී ලාංකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීම සම්බන්ධයෙන් AHRCසංවිධානය සිය දැඩි අවධානය යොමුකරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය මගින් ජාත්‍යන්තර නීතිය මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කර තිබෙන ආකාරය කෙරෙහි AHRC විශේෂ අවධානය යොමුකරයි. එහිදී පදනම් කරගන්නා තර්කනය පහත දැක්වේ.

105 (3) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදී තිබෙන බලය මෑත අතීතයේදී භාවිතා කර තිබෙන ආකාරය සමාලෝචනය කළ යුතුය. විශේෂයෙන්ම, මයිකල් එම්මානුවෙල් ප්‍රනාන්දු (No: 1189/2003 U.N. Doc. CCPR/C/83/D/2003 (2005), එස්.බී. දිසානායක (U.N. Doc. CCPR/93/D/1373/2005, Communication No. 1373/2005), සහරංජන් රාමනායක (SC Rule No. 1/2018) විශේෂ අවධානයට ලක්වේ.

ඒ පිළිබඳ අප සැලකිලිමත් වන කාරණා මෙසේය:

නීති විරෝධී රඳවාගැනීම් ලෙස වරදේ ප්‍රමාණයට වඩා විශාල දණ්ඩනය

මෙම සියලු නඩුවලදී, සිරදඬුවම් පණවා තිබේ. ප්‍රනාන්දු නඩුවේදී අධිකරණයේ ශබ්ද නඟා කතාකිරීම සම්බන්ධයෙන් එක් අවුරුදු සිරදඬුවමක් ද, එස්.බී. දිසානායක නඩුවේදී ‘ලැජ්ජා නැති අධිකරණය’ යන වචන අධිකරණයෙන් පිටත ප්‍රසිද්ධ රැස්වීමකදී භාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතල වැඩ සහිත දෑවුරුදු සිර දඬුවමක් ද, රංජන් රාමනායක නඩුවේදී අධිකරණ දූෂණ පිළිබඳ සඳහන් කිරීම නිසා බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිර දඬුවමක් හා සත් වසරක් යනතෙක් පාර්ලිමේන්තු මැතිවරණ තහනමක් ද ලබාදී තිබේ. මුල් නඩු දෙකේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, ප්‍රනාන්දුසහදිසානායක විසින් කරන ලද දැනුම්දීම සලකා බලා, ඔවුන් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු සලකා බලා, එම දඬුවම් වරදේ ප්‍රමාණයට වඩා විශාල බව සහ ජාත්‍යන්තර නීතිය යටතේ වරදේ ප්‍රමාණයට වඩා විශාල දඬුවම්නීති විරෝධී රඳවාගැනීම් ලෙස සැලකිය හැකි බව ද නිවේදනය කළේය. ශ්‍රී ලාංකික නීතිය අනුව, නීති විරෝධී රඳවාගැනීමෙන් ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබේ. ඒ අනුව, එහිදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවේ. වරදේ ප්‍රමාණයට වඩා විශාල දඬුවම් ලබාදීමේ භාවිතාවජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික නීතිය උල්ලංඝනය කිරීමකි. වරදේ ප්‍රමාණයට වඩා විශාල, කෘර දඬුවම් පැණවීම සම්බන්ධයෙන් හේතු දැක්වීමක් සිදුකර නොතිබීම මගින් තත්වය තවත් නරක අතට හැරේ. මේ අන්දමින්වරදේ ප්‍රමාණයට වඩා විශාල දඬුවම් ලබාදීම මේ වන විට ස්ථාවර භාවිතාවක් බවට පත්වෙමින් තිබේ. එය සාධාරණ නඩු විභාගයන් හා නීතියේ ආධිපත්‍යය පිළිබඳ සංකල්පයන්ට පටහැණිය. නීතීඥවරුන්, නඩු පවරන්නන් සහ අන් සියලු දෙනා සම්බන්ධ යුක්තිය පසිඳලීමේ පද්ධතියට එමගින් බරපතල අවදානමක් නිර්මාණය වේ. ඔවුන්ට යුක්තිය සම්බන්ධ කටයුතු සිදුකිරීමට වන්නේ එවැනි පසුබිමකය.

අධිකරණයට අපහාස කිරීම – අර්ථ නිරූපණයක් නොමැති වරදක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තියඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයශ්‍රේෂ්ඨාධිකරණයසහඅභියාචනාධිකරණයවෙත පවරනු ලැබේ. සිරගත කිරීම, දඩ පැණවීම හෝ ඒ දෙකම මගින් දඬුවම් කිරීමත්, අධිකරණයට අපහාස කිරීමේ වරදත් ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකින් අර්ථ නිරූපණය කර නැත. අපරාධ දණ්ඩනයන් සම්බන්ධ සියලු ශ්‍රී ලාංකික නීතිවලදී සෑම වරදක්ම එහි මූලිකාංග අනුව අර්ථ නිරූපණය කර තිබේ. සැකකරුට එරෙහිව නගා තිබෙන චෝදනාව සැකයෙන් තොරව ඔප්පු වුවහොත්, අධිකරණයට එම වරදකරුට ලබාදිය හැකි උපරිම දණ්ඩනය අර්ථ නිරූපණය කර තිබේ. ඒ අනුව, ත්‍රස්තවාදය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, මිනීමැරීම සහ දූෂණය වැනි බරපතල අපරාධ ඇතුළු සියලු අපරාධ සම්බන්ධයෙන් වරදක් අර්ථ නිරූපණය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ සමස්ත භාවිතාව අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් ද අදාළ වේ.

පහත උදාහරණ ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ අර්ථ නිරූපණය කර තිබෙන ආකාරයයි:

මිනීමැරුම

මෙහි මින්පසු ඉවත්කර තිබෙන සිද්ධි හැර, සාපරාධී ඝාතනය මිනීමැරුම නම් වේ.

පළමුව – මරණය සිදුවූ ක්‍රියාව සිදුකරනු ලැබුවේ මරණය සිදුකිරීමේ චේතනාවෙන් නම් හෝ

දෙවනුව – හානියට ලක්වන පුද්ගලයාට ශාරීරික තුවාල සිදුකරන්නේ මරණය සිදුකිරීමේ චේතනාවෙන් නම් හෝ

තුන්වනුව – ක්‍රියාව සිදුකරනු ලැබුවේ කිසියම් පුද්ගලයකුට ශාරීරික තුවාල ඇතිකිරීමේ චේතනාවෙන් සහ එසේ ඇතිකිරීමට චේතනා කරන ලද තුවාල ස්වාභාවිකව මරණය සිදුකිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නම් හෝ

සිව්වනුව – ක්‍රියාව නිසා මරණය සිදුවීමේ සියලු අවස්ථා ඇති බව ක්‍රියාව කරන පුද්ගලයා දන්නේ නම් හෝ කරනු ලබන ශාරීරික තුවාල මරණය සිදුකිරීමට හැකියාව ඇති ඒවා නම් සහ එම ක්‍රියාව සිදුකරන්නේ මරණය සිදුකිරීම හෝ ඉහත දක්වන ලද ආකාරයේ තුවාල සිදුකිරීම සාධාරණ වන කිසිදු හේතුවක් නොමැතිව නම්

වරදක මාතෘකාව එහි අර්ථ නිරූපණයෙන් වෙනස් ලෙස

ඉහත ඡේදයේ දක්වන ලද ආකාරයට වරදක මාතෘකාව වරදෙහි අර්ථ නිරූපණයෙන් වෙනස් වේ. අධිකරණයට අපහාස කිරීම යනු වරදක මාතෘකාව හෝ නමයි. ශ්‍රී ලංකාවේ එය අර්ථ නිරූපණය කර නැත. 105 (3) වගන්තිය මගින් කියැවෙන්නේ වරදෙහි මාතෘකාවයි. එම වගන්තිය අනුව ක්‍රියාකිරීම සඳහා වරද අර්ථ නිරූපණය කර තිබිය යුතුය.

අර්ථ නිරූපණය කරනු නොලැබූ වරදක් සම්බන්ධයෙන් නඩුවිභාගයක් පැවැත්විය නොහැකිය

අර්ථ නිරූපණය කරනු නොලැබූ වැරදි සම්බන්ධයේ නඩුවිභාග පැවැත්වීමේ මෙම භාවිතාව මගින් සාධාරණ නඩුවිභාගයක් සඳහා අවස්ථාව දැඩි ලෙස සීමා කරනු ලැබේ. එහිදී චූදිතයකුට තමන් විසින් සිදුකරන ලද වරද සම්බන්ධ චෝදනා පිළිබඳ නිවැරදි අවබෝධ කරදෙන්නේ නැත. වරදෙහි මූලිකාංග සහ ලබාදීමට ඉඩ තිබෙන දණ්ඩනය මගින් නඩුවිභාගයේදී ඔහුගේ සියලු අයිතිවාසිකම් භාවිතා කළ නොහැකි තත්වයට පත්වේ. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම නම් චෝදනාව වෙනත් වැරදි සම්බන්ධ චෝදනාවලට වඩා සුවිශේෂ චෝදනාවක් ලෙස සැලකේ. වෙනත් කරුණුවලට අමතරව, මෙමගින් නීතිය ඉදිරියේ සමානාත්මතාවේ මූලික නීති උල්ලංඝනය වේ. එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු මූලික අයිතිවාසිකමකි. එසේම, ජාත්‍යන්තර නීතිය මගින් පිළිගෙන තිබෙන ඉතා මූලික මානව අයිතිවාසිකමකි.

කච්චේරි මුදලිට එදිරිව මොහම්මදු නඩුව

මීට පෙර, කච්චේරි මුදලිට එදිරිව මොහම්මදු නඩුවේදී (21 NLR 369) ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන සියලු අපරාධ නීතිමය වශයෙන් හඳුනාගෙන තිබෙන බවශ්‍රී ලාංකික අධිකරණය විසින් අර්ථ නිරූපණය කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලාංකික අධිකරණයේ නිල භාවිතය වන්නේ අපරාධ වැරදි දණ්ඩ නීති සංග්‍රහයෙන් හෝ වෙනත් නීතියක් මගින් නීතිමය වශයෙන් අර්ථකථනය කර තිබේ නම් පමණක් ඒවා අපරාධ ලෙස පිළිගැනීමයි. මෙම නිල භාවිතාව ශ්‍රී ලාංකික නීතියේ ඓන්ද්‍රිය කොටසකි. එය උල්ලංඝනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීතිමය ව්‍යූහය තුළ වැරදි ලෙස විග්‍රහ කරගෙන තිබෙන සමස්ත සංකල්පයටම දැඩි බලපෑමක් ඇතිවේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ අධිකරණ පටිපාටියක් ද අනෙකුත් නඩු විභාග වැනිම විය යුතුය

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවක් විභාග කරන ආකාරය පිළිබඳ පටිපාටියක් සකසා නැත. එම නිසා, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවලදී ද සෙසු අපරාධ සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් තහවුරු කිරීම සඳහා අනුගමනය කරනු ලබන සාමාන්‍ය පටිපාටියම අනුගමනය කළ යුතුව තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයෙහි මූලික කරුණු වන්නේ අපරාධයක් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළ යුත්තේ විමර්ශන අධිකාරිය ඉදිරියේ මූලික සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පමණක් බවයි. අදාළ වරද සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ සාධාරණ හේතුවක් තිබෙන බව එමගින් තහවුරු විය යුතුය. ඒ අනුව, වරදක් සම්බන්ධයෙන් විමර්ශනයකදී පවා නීතිමය වශයෙන් වරදක් පැවතීම අත්‍යවශ්‍යය. ඉන් අනතුරුව, නීතියෙන් පිළිගත් අපරාධ විමර්ශන අංශය විසින් අනුගමනය කරනු ලබන පටිපාටි යටතේ විමර්ශනය සිදුකළ යුතුය. සියලු සාක්ෂි එක්රැස් කරගැනීමෙන් අනතුරුව, කිසියම් වරදක් සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම හෝ නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් පසුබිමක් තිබේ නම්, කිසියම් විමර්ශන අධිකාරියක් සතු නීතිමය බලය අනුව චෝදනා ගොනුකිරීම සිදුකරනු ලැබේ. නැතිනම්, සියලු සාක්ෂි නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. නීතිපතිවරයාගේ කාර්යභාරය වන්නේ සියලු සාක්ෂි අධ්‍යයනය කර, ඒ අනුව වරදක මූලිකාංග සම්පූර්ණ වී තිබේද යන්න තීරණය කිරීමයි. පැමිණිලි විභාගයක සාර්ථකත්වයක් තිබිය හැකිද යන්න ද තීරණය කරනු ලැබේ. ඒ අනුව, නඩුව විභාග කිරීම සඳහා අදාළ අධිකරණය වෙත යොමුකරනු ලැබේ.අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉහත දක්වන නඩු තුනෙන් කිසිදු නඩුවකදී එවැනි විමර්ශනයක් සිදුකර නැත. නීතිපතිවරයා විසින් සාක්ෂි අධ්‍යයනය කිරීමක් සිදුවන්නේ නැත. පළමුකොටම නීතියෙන් අර්ථ නිරූපණය කර තිබෙන වරදක් එහි නැත. දෙවනුව, අපරාධ නඩුවිධාන සංග්‍රහයේ දක්වා තිබෙන ආකාරයේ විමර්ශනයක් පවත්වා නැත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවලදී චෝදනා ලබන පුද්ගලයාට ද වෙනත් චූදිතයන්ට තිබෙන අයිතිවාසිකම් තිබේ.

අදාළ අධිකරණයෙහි චෝදනාවක් ගොනුකළ පසු, තමන්ට එරෙහිව නඩු විභාගයේදී භාවිතා කරන සියලු සාක්ෂි ලබාගැනීමේ අයිතිය චූදිතයාට තිබේ. ඒ අනුව, තමන්ට එරෙහිව තිබෙන චෝදනාව පිළිබඳ චූදිතයා දැනුවත් වේ.සාක්ෂි විස්තර සම්බන්ධයෙන් සූදානම් වීම සඳහා ඔහුට කාලය ලැබේ. එමගින් ඔහුට සාධාරණ අන්දමින් ආරක්ෂාව ලබාගත හැකිය. මෙම නඩු කිසිවකදී එවැනි පටිපාටියක් අනුගමනය කරනු ලැබුවේ නැත. එම නිසා, මෙම නඩු කිසියම් ආකාරයක විශේෂ නඩු බවට පත්වේ. ඒවා ශ්‍රී ලාංකික නීතිය අනුව පිළිගත් සාමාන්‍ය නඩු වන්නේ නැත. ඒ අනුව ද නීතිය ඉදිරියේ සමානාත්මතාවේ මූලධර්මය උල්ලංඝනය වේ. අනෙක් පැත්තෙන්, ඉහත දක්වන ල පටිපාටි සම්පූර්ණ නොකර සාධාරණ නඩුවිභාගයක් පැවැත්විය නොහැකිය.

නඩුවිභාග කරන අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅනුවශ්‍රේෂ්ඨාධිකරණය නම්කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩු විභාග කිරීමේ බලය පමණක් තිබෙන අධිකරණයක් ලෙසයි. ශ්‍රී ලාංකික නීතිය අනුව, එයින් අදහස් කරනු ලබන්නේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවලදී අභියාචනාධිකරණය විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නඩුවිභාග සිදුකිරීමේ බලය තිබෙන බවය. එහිදී බලය ලබාදෙන්නේ නඩුවක් විභාග කිරීම හා තීන්දු දීම සම්බන්ධයෙන් පමණි. කෙසේ වෙතත්, නඩුවිභාගය සිදුකරනු ලබන ආකාරය ශ්‍රී ලංකාවේ සියලු වැරදිවලට අදාළ වන නීතිමය පටිපාටියට අනුකූල විය යුතුය. උදාහරණයක් ලෙස, ඉතා බරපතල අපරාධ වැරදි සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ හා තීන්දු දීමේ බලය ශ්‍රී ලංකාවේ මහාධිකරණය සතුව තිබේ. කෙසේ වෙතත්, අධිකරණය විසින් නඩුව විභාග කරන හා තීන්දුව ලබාදෙන ආකාරය නීතිය විසින් නිර්ණය කර තිබේ. සාධාරණ නඩු විභාගයක් තහවුරු කිරීම එහි අරමුණයි. සාධාරණ නඩුවිභාගයක පටිපාටි අනුගමනය කිරීමේදී  මහාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල අතර වෙනසක් නැත. අධිකරණයට අපහාස කිරීමසම්බන්ධ නඩුවලදී තිබෙන එකම වෙනස වන්නේ නඩු විභාගයන් තමන් ඉදිරියේ සිදුකිරීමේ බලයශ්‍රේෂ්ඨාධිකරණයසහඅභියාචනාධිකරණය සතු වීමයි. ඒ අනුව,ඉහත දක්වන ලද ආකාරයේ සාධාරණ නඩුවිභාගයක් සඳහා වන පටිපාටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය මගින් අත්හිටුවනු ලබන බවක් නිරීක්ෂණය වේ. .

අසීමිත අභිමතයට එරෙහි මූලධර්මය

105 (3) වගන්තිය යටතේ, සිරදඬුවම් හෝ දඩ නියම කිරීමේ හෝ ඒ දෙකම කිරීමේ අභිමතයශ්‍රේෂ්ඨාධිකරණය හෝඅභියාචනාධිකරණය සතුව තිබේ. අධිකරණයට අපහාස කිරීමනඩුවලට පමණක් සුවිශේෂ වන අර්ථයක් ‘අභිමතය’ නම් යෙදුමට නැත. අධිකරණයේ අභිමතය පිළිබඳ සංකල්පය සෙසු අධිකරණ පටිපාටි හා සමානය. ශ්‍රී ලංකාවේ සියලු අධිකරණ පටිපාටිවලදී මෙන්ම පොදු නීතියේදී ද මූලික මූලධර්මය වන්නේ අභිමතය භාවිතා කළ යුත්තේ නීති මගින් දක්වා තිබෙන පදනම මත බවයි. උදාහරණයක් ලෙස සාමාන්‍ය අපරාධ නඩුවලදී නීතිය මගින් දක්වනු ලබන්නේ දස වසරකට වැඩි නොවන සිර දඬුවමක් ලබාදිය හැක්කේ සාධාරණ සැකයකින් තොරව නඩුවක් ඔප්පු වුවහොත් පමණක් බවයි. එම සංදර්භය තුළ, අධිකරණයේ අභිමතයෙන් අදහස් වන්නේ සිර දඬුවමක් අවම කිරීම හෝ උපරිම කිරීම සම්බන්ධ විවිධ සාධක නීතිමය ව්‍යූහයේ සීමාවන් තුළ සලකාබැලීමට අධිකරණයට බලය ඇති බවයි. කෙසේ වෙතත්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවකදී උපරිම හා අවම දඬුවම් සම්බන්ධයෙන් නීතිමය විධිවිධානයක් නැත. එම නිසා, එවැනි වරදක් නිර්මාණය වනතුරු සහ නීතිය මගින් දණ්ඩන පරාසය සීමාවන් සහිතව නිර්ණය කරනතුරු අභිමතය භාවිතා කිරීමේ බලයක් අධිකරණයට නැත. ශ්‍රී ලාංකික නඩු නීතිය තුළ මෙන්ම බ්‍රිතාන්‍ය සහ වෙනත් පොදු අධිකරණ බලප්‍රදේශයන් තුළ ද අභිමතය භාවිතා කිරීම සම්බන්ධ මූලධර්ම නීතිගත කර තිබේ.

අභියාචනා කිරීමේ හිමිකම ද වෙනත් අපරාධ නඩුවල ආකාරයෙන්මය

ශ්‍රී ලංකාවේ සියලු අපරාධ නඩුවලදී අභියාචනා කිරීමේ හිමිකම තිබේ. කෙසේ වෙතත්, ඉහත සඳහන් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩු තුනෙහිදී අභියාචනා කිරීමේ අයිතිය අත්හිටුවා තිබේ. එම්මානුවෙල්ප්‍රනාන්දු නඩුවේදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමට අයදුම් කළමුත්, එම අභියාචනය එකහෙළා ප්‍රතික්ෂේප කරන ලදී. වර්තමානයේදී අනුගමනය කරනු ලබන නීතිය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයවිසින්අධිකරණයට අපහාස කිරීම සම්බන්ධනඩුවලදී දෙනු ලබන තීන්දුවලට එරෙහිව අභියාචනා කළ නොහැකි බවයි. එය ද සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතිවාසිකම පදනමින්ම උල්ලංඝනය කිරීමකි. ත්‍රස්තවාදය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, මිනිස් ඝාතන සහ එවැනි වෙනත් භයානක අපරාධ සම්බන්ධ නඩු තීන්දුවලට එරෙහිව පවා අභියාචනා කළ හැකිය. අභියාචනා කිරීමේ අයිතිය නැත්තේ, අධිකරණයට අපහාස කිරීම නම් අපරාධ වරදෙහිදී පමණි. මෙය නැවතත් නීතිය ඉදිරියේ සමානත්වය උල්ලංඝනය කිරීමකි. ස්වාභාවික යුක්තිය උල්ලංඝනය කිරීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය අර්ථ නිරූපණය සම්බන්ධයෙන් ගැටලු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3)  වගන්තිය මේ දක්වා අර්ථ නිරූපණය කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් බරපතල ගැටලු තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණ විසින් බරපතල අන්දමින් උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා මෙම කරුණ නිවැරදි කළ යුතුව තිබේ.

නීතියේ පාලනය සම්බන්ධයෙන් පහත දැක්වෙන අර්ථ නිරූපණය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩු හා විභාගයන්ට ද අදාළ වේ.

“දැනට පවත්නා මූලධර්මයේ හරය වන්නේ….. රාජ්‍යයක් තුළ සියලු පුද්ගලයන් හා රාජ්‍ය හා පෞද්ගලික සියලු අධිකාරීන් පොදුවේ නිර්මාණය කරගනු ලබන, (සාමාන්‍යයෙන්) අනාගතයේදී ක්‍රියාත්මක වන සහ අධිකරණවලදී පොදුවේ පරිපාලනය කරනු ලබන නීති මගින් බැඳී සිටින හා එයින් ප්‍රතිලාභ ලබන බවයි.”

එයට අමතරව,ඒ හා සම්බන්ධ මූලධර්ම අටක් විග්‍රහ කර තිබේ (Lord Tom Bingham- Rule of Law).

  1. නීතිය වෙත ප්‍රවේශය විය හැකි විය යුතුය. එය පැහැදිලි හා අනුමාන කළ හැකි විය යුතුය.
  2. නීතිමය අයිතිය හා වගකීම පිළිබඳ ප්‍රශ්න සාමාන්‍ය වශයෙන් නීතිමය අභ්‍යාස මගින් විසඳිය යුතුය. ඒ සඳහා අභිමතය භාවිතා නොකළ යුතුය.
  3. නීති සැමට සමාන ලෙස භාවිතා කළ යුතුය.
  4. නීති සම්පාදකයන් හා රාජ්‍ය නිලධාරීන් තමන් වෙත පවරන ලද බලතල යහපත් චේතනාවෙන්, සාධාරණ අන්දමින්, තමන්ට අදාළ වන අරමුණින්, සාධාරණ අන්දමින් හා බලතලවල සීමාවන් ඉක්මවා නොයන අන්දමින් භාවිතා කළ යුතුය.
  5. නීතිය මගින් සියලු මූලික මානව අයිතිවාසිකම්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදිය යුතුය.
  6. පාර්ශ්වවලට තමන් විසින්ම විසඳාගත නොහැකි ආරාවුල් විසඳාගැනීම සඳහා රජය විසින් ක්‍රම සම්පාදනයකළ යුතුය.
  7. රජය විසින් සම්පාදනය කරනු ලබන විනිශ්චය පටිපාටි සාධාරණ විය යුතුය.
  8. නීතියේ පාලනය ජාතික හා ජාත්‍යන්තර නීති සම්බන්ධ රාජ්‍ය වගකීම් සමග අනුගත විය යුතුය.

අපරාධ යුක්තියේ මූලික සංකල්ප මතකයෙන් ගිලිහීම

අපරාධ යුක්තියේ මූලික සංකල්පසහආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ නීතිමය විග්‍රහය මතකයෙන් ගිලිහීමට හේතුව විය හැක්කේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 43 වසරක් නීතිය භාවිතා කිරීමයි. ඒ හේතුවෙන්, නීතියේ පාලනය ඇතුළු පොදු නීතිය යටතේ භාවිතා කරනු ලබන මූලික සංකල්ප ශ්‍රී ලංකාවට අහිමි වෙමින් තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධ මූලික වගකීම අහිමි වී යාමයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවල චූදිතයන් හට නීතියේ ආරක්ෂාව සඳහා අයිතිය තිබේ. රජය වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලුදෙනා නීතියෙන් බැඳී සිටිති. එබැවින්, ඔවුන් තම බලතල ඉක්මවා කටයුතු නොකළ යුතුය. මෙම මූලධර්මය උල්ලංඝනය වන විටදී නීතිය සාහසික තත්වයට පත්වේ

ආසියානු මානව හිමිකම් කොමිෂමෙහි (AHRC)ක්‍රියාකාරීත්වයෙහි අරමුණ වන්නේ, ආසියාවේ යුක්තිය හා සම්බන්ධ ආයතන පිළිබඳ නැවත සිතීම හා මානව හිමිකම් ආරක්ෂා වන පරිදි හා ප්‍රවර්ධනය වන පරිදි ඒවා මූලික වශයෙන් නැවත සැලසුම් කිරීමයි. 1984දී පිහිටුවනු ලැබ, හොංකොං පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආසියානු මානව හිමිකම් කොමිෂමට 2014 වසරේදී නිවැරදි ජීවනෝපාය සම්මානය (Right Livelihood Award) හිමි විය.

මෙම ප්‍රකාශය අන්තර්ජාලය ඔස්සේ කියවන්න

http://www.humanrights.asia/news/ahrc-news/AHRC-STM-004-2022/

 

Social Sharing
විශේෂාංග