“අරුණ” කතෘ ගෙන් සී.අයි.ඩී ට කොරෝනා බෝ වෙයිද? – රනිල්

ආණ්ඩුව මාධ්‍ය මර්ධනය පටන් ගෙන තිබෙනවා. දැන් ‘’අරුණ’’ පත්තරේ කර්තෘ තුමා සී.අයි.ඩී එකට අරන් ගිහින් එතුමාගෙන් ප්‍රශ්න කරනවා.’’කන්ද කාඩු කොවිඩ් පොකුරේ ඊයේ පිරිස මහනුවරින් 661’’ කියල පත්තරේ ලිවුවා කියල, එතුමාගෙන් ප්‍රශ්න කරනවා. දැන් මාධ්‍ය මර්ධනය පටන් ගෙන තිබෙනවා. ඇයි මේ පුවත්පත් මර්ධනය කරන්න හදන්නේ? දැන් අවසානෙදි වෙන්නේ අරුණ පත්තරේ කර්තෘ වරයාගෙන් සී.අයි.ඩී.යට කොරෝනා බෝවෙනවා. නැත්නම් සී.අයි. ඩි.යෙන් අරුණ පත්තරරේ කර්තෘට කොරෝනා බෝ වෙනවා යැයි එජාප නායක රනිල් වික්‍රසිංහ මහතා 15 දින හම්බන්තොටදී පැවසීය.

එ.ජා.ප.යේ මැතිවරණ ජයග්‍රහණය සදහා හම්බන්තොට ජනතාව ඇමතීම සදහා පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති නිසා රට පුරා කොරෝනා වසංගතය පැතිරෙමින් යන බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ලෝකේ පුරා සෞඛ්‍ය ඇමතිවරු කොරෝනා පාලනය කරන්න ගිහිල්ල කොරෝනා හදා ගත්තා. ලංකාවේ සෞඛ්‍ය ඇමතිතුමිය රත්නපුරේ මනාප එකතු කරන්න ගිහින් රටට කොරෝනා බෝ කළා. සෞඛ්‍ය අමාත්‍යංශයට යන්නේ නැති ඇමති තුමිය මනාප එකතු කරනවා.

කොරෝනා  ඇති වුණු කාලයේ ජනාධිපති තුමා ඇඳිරි නීතිය දැම්මා. අපි ඒකට සහයෝගය දුන්නා. ඇත්ත වශයෙන්ම එය හොද දෙයක්. නමුත් ආණ්ඩුව කොරෝනා පාලනය කරන්න සූදානම් වුනේ නෑ. සූදානම් වුනේ ඡන්දය තියන්න. කොරෝනා වලින් දේශපාලන වාසි ගන්න ආණ්ඩුව සූදානම් වුණා. ආණ්ඩුවට අවශ්‍ය වුණා ඉක්මනට ඡන්දය තියන්න.

ආණ්ඩුවේ සමහරු කියන්න ගත්තා  ආණ්ඩුව කොරෝනා පාලනය කළා කියල. සමහරු  අහන්න ගත්තා එ.ජා.ප ආණ්ඩුවක් තිබුනානම් මොකක්ද වෙන්නේ කියල. මම ඒව ගැන කථා කරන්න යන්නේ නෑ. එ.ජා.ප ආණ්ඩුවක් තිබුනානම් කොරෝනා පාලනය කරනවා. මේ ආණ්ඩුව කොරෝනා පාලනය කළාද? බොහෝ රටවල් කොරෝනා පිළිබදව පරීක්ෂණ පවත්වද්දි ලංකාව පරීක්ෂණ සිදු කලේ නෑ.

මම ඇහුවා අපිට ලෝක බැංකුවෙන් ලැබුණු මුදල් වලට මොකක්ද වුණේ කියල. මම දැක්කා අපේ ඇමතිතුමිය මට පිළතුරු දීල තිබුණ. සල්ලි මොකුත් ලැබුනෙ නෑ. ලෝක  සෞඛ්‍ය  සංවිධානයෙන් සල්ලි හම්බු වුනේ නෑ. ලෝක  බැංකුවෙන් අවුරුදු තුනක් යනව සල්ලි හම්බු වෙන්න. මොකුත් හම්බු වෙලා නෑ කියල එතුමිය කිවුවා.

එතුමිය පලමුවෙන් ජූලි 12 වෙනිද කිවුවා කොරෝනා පාලනය කරන්න ලෝක  සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 හම්බු වුණා කියල. ලෝක  සෞඛ්‍ය  සංවිධනයේ කොළඹ කාර්යාලය  ඒක තහවුරු කරල නිවේදනයක් නිකුත් කළා. ඊට පස්සෙ ජූලි 03 දා අගමැති තුමා කැබිනට් පත්‍රිකවක් දැම්මා. බන්ධුල ගුණවර්ධන ඇමති තුමා ඊ ළග කැබිනට් එක දවසේ ඒ ගැන ප්‍රකාශයක් කරයි. බන්ධුල ගුණවර්ධන ඇමතිතුමා කිවුවා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ තිබුණ කියල ලෝක බෑංකුව ඩොලර් මිලියන 128ක් දුන්න කියල.  ඊට අමතර ඩොලර් මිලියන 45 ක් සමාජ සේවා වැඩ සටහනට ලබා දුන්න  කියල ඒ කැබිනට් පත්‍රිකාවෙ තිබුණ කියල එතුමා කිව්වා. ඊට අමතරව ඩොලර් මිලියන 75 ක මුදල් ලැබිල තියෙනව කියල එම කැබිනට් පත්‍රිකාවෙ තිබෙනවා. එතුමා කියන හැටියට දැනටම මුදල් ලැ‌බී තිබෙනව  කියල අගමැති තුමා කියල තියෙනවා. සම්පූර්ණයෙන් ඩොලර් මිලියන 253 ක් ලැබල තියෙනවා. ඇමති තුමිය කියනවා ඩොලර් ලැබුනේ නෑ කියල. ඇමති තුමිය කියනවා ලෝක බැංකුවෙ මුදල්  මුදල් හම්බු වෙන්නේ අවුරුදු තුනකින් කියල. නමුත් ඒ මුදල් වලින් සියයට 45%ක් ලැබිල තියෙනවා කියල අගමැති තුමා කියනවා. අනෙක මම දන්නෙ නෑ මේ මුදල් අවුරුදු තුනකින් දෙන්නේ ඇයි කියල. ලෝක බැංකුව කියනවා  මේ මුදල් දෙන්නේ හදිසි  අවශ්‍ය තාවයක් වශයෙන් සලකා කියල. හදිසි අවස්ථා අවුරුදු තුනකට තියෙන්නේ නෑ.මම අහන්නෙ කවුද බොර කියන්නේ කියල? බොරු කියන්නේ අගමැති තුමාද සෞඛ්‍ය ඇමති තුමියද? මට ඒක විතරක් පැහැදිලි කරල දෙන්න කියල ආණ්ඩුවට කියනවා. මේ දෙන්නාගෙන් එක්කෙනෙක් බොරු කියනවා. එක්කෙනෙක් කියනවා සල්ලි හම්බු වුනේ නෑ කියල. ඒ ඇමති තුමියම ඊට කලින්  කියනවා ලෝක  සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 ක් හම්බු වුණා කියලා. අනෙක් පැත්තෙන් ජනාධිපති තුමා කියනවා ඩොලර් මිලියන 252ක් ලැබුණා කියල.

ජනතාවට බොරු කියන්න ගිහින් දැන් ඒ ඒ අය බොරු කියා ගන්නවා. වෙන රටවල් මේ වැඩ කටයුතු කරන්න  සෙඛ්‍යය ඇමතිවරු දින පහක්  හයක් වැඩ කරනවා. ඇමතිතුමිය දවස් කීයක් අමාත්‍යාංශයට ගිහින් තියෙනවාද? එතුමිය මනාප හොයනවාද නැත්නම් කොළඹ  අමාත්‍යාංශයෙ ඉන්නවාද කියල මට කියන්න.

අමාත්‍යාංශයේ වගකීම දරන්න කෙනා ඇමතිවරයා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවේද පැහැදිලිව සදහන් වෙනවා. ජනාධිපතිකාර්ය සාධක බලකාය තියෙන්නේ කොරෝනා මර්ධනයේ වැඩකටයුතු සම්බන්ධිකරණය කරන්න. ඇමතිතුමිය එක දවසක් අමාත්‍යාංශයේ ඉන්නවාද කියල මට සැකයක් තියෙනවා. කොරෝනා පාලනය කරන්න මොනවාද ආණ්ඩුව කරන්නේ?  විශාල ප්‍රශ්නයක් රටේ ජනතාවට තිබෙනවා. දැන් හැම තැනම කොරෝනා පැතිරෙනවා.

දැන් ආණ්ඩුව හිර වෙලා ඉන්නේ. ඇදිරිනීතිය දාල කොරෝනා මර්ධනය කරනවාද නැත්නම් ඇදිරිනීතිය දමන්නේ නැතිව කොරෝනා පතුරනවාද කියලා. ඔය දෙකෙන් කොයි දේ කළත් මේ රටේ ආර්ථිකයට ප්‍රශ්න ඇති වෙනවා. දැන්ආණ්ඩුවට මේ කෙන් ගැලවීමක් නෑ.

දැන් ආණ්ඩුව කළ යුත්තේ වහාම පරීක්ෂණ වැඩි කිරීමයි දවසකට පරීක්ෂණ  5000 ක් කරන්න ආණ්ඩුව පියවර ගත් යුතු වෙනවා. ඒ හරෙන්නට මේකට පිළිමක් නෑ. පරීක්ෂණ කරල කොරෝනා ආසාධිතයන් හදුනා ගැනීමෙන් තොරව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ක්‍රමයක් නෑ.

මේ ආර්ථිකය ගොඩ නගන්න ආණ්ඩුවට බෑ. සුදු අලියෙක් වෙච්ච හම්බන්තොට වරායේ ප්‍රශ්නයෙන් අපි ගැලවුණා. ඉඩම් අක්කර 10,000 ක් මේ පළාතෙන් දීල මේ ප්‍රදේශයේ කර්මාන්ත  පුරවරයක් කරන්න අපි හදන කොට  අපට ගල් ගැහුවා.

එජාපය හම්බන්තොට අතහැරල නෑ. අපි හම්බන්තොට සංවර්ධනය කරනවා. අපි හැමදාමත් හම්බන්තොට සමග හිටියා. පවතින යමක් හම්බන්තොට ට කළානම් ඒ කළේ එජාපය පමණයි.

අපි හම්බන්තොටත් දියුණු කරල මේ රටත් දියුණු කරනවා. මේ රටේ ආර්ථිකය  හදන්න කොරෝනා මර්ධනය කරන්න රට දියුණු කරන්න එජාපයට ඡන්දය දෙන්න කියා මම අවසාන වශයෙන් ඉල්ලීමක්  කරන්න කැමතියි.

-චන්ද්‍රසේන ගමගේ-

 

 

Social Sharing
නවතම