හිජාස්ට ඇපදෙනවට විරුද්ධ නෑ – නීතිපති

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත.

රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා  පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව  ඔහු සම්බන්ධයෙන් කෙරෙන ඇප ඉල්ලීමකට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 20 දා  අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. තමන් ඇප මත මුදා හරින ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා එම දැනුම් දීම සිදුකර තිබේ.

ඒ අනුව මෙම ප්‍රතිශෝධන පෙත්සම එලබෙන පෙබරවාරි මස 09 දා යළි කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය එදිනට ප්‍රගතිය වාර්තා  කරන ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා කරමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මද්‍රසා පාසලක දේශනයක් පැවැත්වූ බවටත් මේ වන විට ඔහුට චෝදනා එල්ල වී තිබේ. එහෙත් මෙම චෝදනා ඔප්පු කෙරෙන සාක්ෂි මේතාක් අධිකරණය හමුවට ඉදිරිපත් වී නැත.

මාස 20කට ආසන්න කලක් වධ දෙමින් සිරකොට ගෙන සිට පසුගිය දා ඇපමත මුදා හරින ලද මුස්ලිම් කිවියර අහ්නාෆ් ජසීම් විසින් හෙළි කර ඇති පරිදි ඔහු හා නීතිඥ හෙජාස් අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රකාශ කරවා ගැනීමට ත්‍රස්ත මර්දන පොලිසිය අසාර්ථක උත්සාහයක යෙදී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම කර ඇත්තේ ගර්හාවට පාත්‍රවී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන්නට යන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී දෙදිනක් ගතවූ දවසේ වීම විශේෂත්වයක් ය.

Social Sharing
නවතම