වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් හට මාන්කුලම් උසාවියේ රාජකාරියට යොදා සිටී පොලිස් නිලධාරින් තර්ජනය කරමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණයට බාධා පමුණුවා ඇත.

මීට පෙරද මෙම මාධ්‍යවේදියා පොලිස් බාධාවන්ට සහ හිරිහැර කිරීම්වලට ලක්වී ඇති අතර පසුගිය 19 දා මාන්කුලම් උසාවියේ වාර්තාකරණයට ගිය ඔහු උසාවි නාමපුවරුව ඇතුලු අවට පරිශ්‍රය රූගත කරමින් සිට ඇත. එහිදී  ඊට එරෙහිවූ මෙම පොලිස් නිලධාරින් ඔහුට තර්ජනය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය හැඳුනුම් පත ඉදිරිපත් කළවිට, අධිකරණ නිලධාරීන්ගෙන් විමසීම සඳහා යැයි කියමින් මාධ්‍ය හැඳුනුම්පත ද රැගෙන ගිය පොලිස් නිලධාරින්, ජංගම දුරකථන මගින් ඔහුගේ ජායාරූප ගත් බව එහි සිටි සෙසු මාධ්‍යවේදියෝ පවසති.

වන්නි කලාපයේ යුද පීඩිත ජනතාවගේ තොරතුරු ජනමාධ්‍යයට වාර්තා කරන මුලතිව් ජනමාධ්‍ය සමාජයේ සභාපතිවරයා වන ෂන්මුගම් තවසීලන් දිගින් දිගටම ආරක්ෂක අංශවල පීඩාවට ලක්වීම ප්‍රකාශනයේ නිදහසට බරපතළ අනතුරක් බව මාධ්‍යවේදීන් ප්‍රකාශ කරති.

Social Sharing
නවතම