මිරිස් කුඩු ජෝගීන් ආරක්ෂා කළෙත් රනිල්?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය කාලයේ සෑහෙන්න දවසක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ කාපට් පාරේ ටයර් එකක් පිළිස්සීම මගින් පොදු දේපලකට අලාභ හානී කළා කියන චෝදනාව නිසා. ඔබට මතක නම් අපි පොදු දේපලවලට අලාභ හානි කරමින් පාර්ලිමේන්තුවේ යකා නටපු මිරිස් කුඩු කල්ලියේ මිරිස්කුඩු සැනකෙළිය වීඩියෝ වලින් නැරඹුවා. කතානායක පුටුවේ ඉඳගෙන මයික් කඩන මන්ත්‍රීවරුන්, පුටු අහසේ පා කරන මන්ත්‍රීවරුන්, බයිබලය අහසේ පා කරපු මන්ත්‍රීවරුන්, පවා අපි ඒ සංදර්ශනය අස්සේ අඳුරගත්තා. එහෙම බැලුවාම පොදු දේපලවලට කරපු හානියේ සාක්ෂි ඇස් ඉස්සරහා තියෙනවා. තවමත් ඒවා අන්තර්ජාලයට ගියොත් ජංජාලයක් නැතුවම බලාකියා ගන්න ඇහැක්. ඒත් දෙයියනේ කතානායකට මිරිස්කුඩු ගහලා, මයික් කඩලා, පුටු පොළේ ගහපු මිරිස්කුඩු බලකායට මොකද වුණේ? අනික රටේ උත්තරීතරම ආයතනය..! එහෙමනේ අපි කියන්නේ..!

මිරිස් කුඩු අබසරණ යෑම

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ ව්‍යවස්ථා කුමන්ත්‍රනයක් කරලා පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරිව හිටිය මන්ත්‍රීවරයෙක්ට (මහින්ද රාජපක්ෂ උන්නැහේ ) අගමැතිකම දුන්නා ඔබට මතක ඇති. ඒක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය උඩ වැටුණ යෝධ කළු පැල්ලමක්. ඊටවඩා ඒවා නොතිබුණා කියලා නෙවෙයි මේ කියන්නේ. ඒත් තමන් බලයට ගෙනාපු පාර්ශවයට පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇනලා මේ කරපු සෙල්ලම ලැජ්ජා සහගතයි. උන්නැහේ අද පාරක් පාරක් ගානේ ආයෙත් වටයකින් රාජපක්ෂවරුන්ට බැන බැන යනවා, හැබැයි මේවගේ පිස්සු වැඩ නොකර හරියට වැඩේ කළානම් තව සැරයක් ජනාධිපති පුටුවේ හිඳ ගන්න ඇහැක් කම තිබුණා. මැණිකේ අගය සිරා දන්නේ නෑ කියලා කතාවක් තියෙනවානේ..!

කොහොමවුණත් මේ සිද්ධිය ගැන ආයෙත් ලියන්න හිතුනේ බීබීසියේ සරෝජ් පතිරණ එක්ක කතාබහකට වාඩිවෙන හිටපු කතානායක කරු ජයසූ‍රිය කරන හෙළිදරව්වක් නිසා. හිටපු ජනාධිපති සිරිසේන උන්නැහේ 2018 නොවැම්බර් 09 වෙනිදා කරපු මේ වැඩේ ගැන සහ ඊට පස්සේ පාර්ලිමේන්තුව රැස් කරපු එක ගැන සහ ඒ රැස් කිරීමේදී මිරිස්කුඩු බලකාය හැසිරුණේ කොහොමද කියන දේවල් ගැන හිටපු කතානායක මේ සම්මුඛ සාකච්ඡාවෙදි ටිකක් විතර විවුර්තව කතා කරනවා. තව ටිකක් විවුර්ත වෙන්න එතුමාට පුලුවන් උනානම් හොඳයි. නහින දෙහින කාලේ නිසා කියලා හිතලවත්, යන කෙහෙල් අත්තක් පාරේ යන්න කියලා, නම් ගම් එක්කම කෙළලා දාන්න ශක්තිය තිබුණනම් දින සීයකට හරි ජනාධිපති කරන්න වැඩ කරන්න හිතන්න තිබ්බා. කොහොමවුණත් එතුමා වැදගත් කතාවක් කියනවා. ඒ නිසාම තමයි මේ මිරිස්කුඩු ජෝගිය ගැන ආයෙත් ලියන්න හිතුවේ.

මිරිස්කුඩු ජෝගිය

‘මට විශාල චෝදනාවක් ආවා මම කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා. ඔව් මම ඒ චෝදනාව පිළිගන්නවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරපු දවසේ ජනාධිපති සිරිසේන ගැසට් නිවේදනයක් පළ කළා. පසුවෙනිදා උදේ මම එතුමාට කතා කළා. මම කිව්වා, මට දින 7ක් දෙන්න ඕනෑ, ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය තියෙනවා කියලා පෙන්වන්න, නැත්තං මට මේ පුටුවේ ඉන්න බැහැ කියලා. එතුමා ඒකට එකඟවුණා. ඒ අනුව අපි නොවැම්බර් මාසයේ ඡන්දයක් තියන්න සූදානම් කළා. ඒ ඡන්දය තියන්න යනකොට යම් සාකච්ඡාවක් හීල්ටන් හෝටලයේ තිබිලා තියෙනවා. කොහොමද පාර්ලිමේන්තුව වහන්නේ කොහොමද මගේ පුටුව ගන්නේ? මට එන්න දෙන්නේ නැතුව හතරවටෙන් වහන්නේ කොහොමද? කවුද මගේ පුටුවේ ඉන්දවන්නේ? කවුද ගහන්නේ ? ඒ අය මේවා මටම කියලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට ලැජ්ජයි, නමුත් මේක අපිට කරන්න උනා කියලා ඒ කරපු අයම මට කිව්වා. මේ සිද්ධිය නිසා ලංකාව අන්තර්ජාතිකව අපකීර්තියට පත්වුණා. ඒක විශාල කැළලක් වුණා. මට යුතුකමක් තිබුණා ඊළඟ පරපුරට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය භාර දෙන්න.

තිබුණ විදිහට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් තත්ත්වයක් නෙවෙයි තිබුණේ. හුඟක් අය මට කිව්වා යන්න එපා කියලා. නමුත් මගේ කාර්‍යමණ්ඩලය මට මේකට සෑහෙන්න උදව් කළා. ඔවුන් කිව්වා ඔබතුමාගේ ඕඩර්ස් අනුව අපි ක්‍රියාකරන්නම් කියලා. මම කිව්වා මම කොහොමහරි යනවා කියලා. යන්න ක්‍රමයක් නෑ දොරවල් වහලා, මගේ පුටුවේ එක්කෙනෙක් ඉදගෙන. ඊට පස්සේ මම කිව්වා ලව්ඩ් ස්පීකර් එකක් ගන්න කියලා. ඊටපස්සේ අපි ඇතුලට ගියා. අපි නීතියානූකුලව දේවල් කළා. මම කටහඬෙන් ඡන්දයක් ගත්තා, මට මේ ගැන චෝදනාවක් ආවා. නමුත් කටහඬෙන් මුලින්ම ඡන්දයක් ගත්තේ මම නෙවෙයි. චමල් රාජපක්ෂ ගේ කාලයේ තමයි මුලින්ම ඒක ගත්තේ. එතනදී බරපතළ සිදුවීම් සිද්ධවුණා. පුටුවකින් ගැහුවා. මිරිස්කුඩු ගැහුවා..’

හිටපු කතානායක කරු ජයසූරිය මෙහෙම අතීතය මතක් කරනකොට සරෝජ් පතිරණ මෙහෙම අහනවා.. ඔබතුමා මේ ගැන සොයලා නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක් පත් කළා නේද? ඒ කමිටු වාර්තාවට මොකද වුණේ?..

‘මේකට ඇඟිලි ගහන්න උවමනාවක් මට තිබුණේ නැහැ. ගොඩක් අය මට පාර්ලිමේන්තුවේදී දෝෂාරෝපනය කළා මේගැන මගේ උනන්දුව මදි කියලා. මෙතනදී උන ඇත්ත සිද්ධිය තමයි ඒ පරීක්ෂන මෙහෙයවපු පොලිස් නිළධාරීන් මට කිව්වා, ඉහළින් කියනවා මේක සමාදානයකට යනවා ඒ නිසා පරීක්ෂණ ඉස්සරහට අරගෙන ගිහිං වැඩක් නෑ කියලා. ඒ ආරංචිය ආවාම මම පුදුම උනා. මේ රටේ මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියලා. මම සටන් කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා කරන්න. මම සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ආරක්ෂා කරන්න. එහෙම කරපු මට මෙහෙම දෙයක් කරන්න පුලුවන්නම්? මට දේශපලනය පිළිබඳව විශාල කළකිරීමක් ඇතිවුණා. ඊට පස්සේ මමත් මේ ගැන උනන්දු වුණේ නෑ, මොකද දඬුවම් කරන්න ගියත් ඒක පාර්ලිමේන්තුව හරහා තමයි අන්තිමට කරන්න වෙන්නේ.’

හිටපු කතානායකවරයාගේ කතාව අහපුවාම හිතෙන්නේ මේ උපදෙසත් දෙන්න ඇත්තේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියලා. මොකද ඔහුට තමයි හැමදාම රාජපක්ෂවරුන් ආරක්ෂා කරමින් දේශපාලනය කරන්න අවශ්‍යතාවය තිබුණේ. අනෙක් පැත්තෙන් එවක බහුතර ආණ්ඩු පක්ෂයට යුතුකමක් සහ වඟකීමක් තිබුණා, මේක ඉස්සරහට අරගෙන ගිහිං මේ වැරදිකරුවන්ට දඬුවමක් දීලා රටට ආදර්ශයක් දෙන්න. විශේෂයෙන් මෙතනදී සිද්ධවෙන්නේ ව්‍යවස්ථා කුමන්ත්‍රනයක්. හිටපු කතානායකවරයාම මෙම කතා බහේ එක තැනකදී කියනවා මේ පාර්ලිමේන්තු නාඩගම ගැන සාකච්ඡාව තිබුණේ හීල්ටන් හෝටලයේ කියලා. ඒ වගේම ඔහු කියනවා මේ කුමන්ත්‍රනය ක්‍රියාත්මකවෙන කාලේ ඔහුට ඇසීඩ් ගහන්න යම් පිරිසක් කුමන්ත්‍රනය කළා කියලා. මේ චෝදනා බරපතළයි. මෙවැනි දේවල් දැනගෙන තිබියදීත් ව්‍යවස්ථාදායකය එවක ක්‍රියාත්මක නොවීම පුදුමයක්. මේකෙන් පැහැදිලි වෙන්නේ ‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ කියන රංජන්ගේ ඓතිහාසික කියමන. රනිල් වික්‍රමසිංහටත් උවමනා වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කරන්න නෙවෙයි නැවත වටයකින් අගමැති වෙන්න. ඒකයි තිත්ත ඇත්ත.

මිරිස්කුඩු කමිටු වාර්තාවට මොකෝ උනේ?

2018 නොවැම්බර් 14, 15, 16 පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණ මේ මිරිස්කුඩු නාඩගම ගැන විමර්ශනයක් කරන්න එවක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතීත්වයෙන්, රංජිත් මද්දුමබණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා, චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර කියන මන්ත්‍රීවරුන් හය දෙනාගේ කමිටුවක් පත් කරනවා. අවසාන නම් දෙක තියෙන මන්ත්‍රීවරුන් මේ කමිටු විමර්ශනවලට සහභාගී වෙන්නේ නෑ. මේ විමර්ශනයට නීතිපති දෙපාර්තමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලැබෙනවා.

මිරිස්කුඩු ජෝගිය ගැන සොයන මේ කමිටුව අවසානයේ මොනාද කියන්නේ? රුපියල් 325000 පොදු දේපළ හානියක් වගේම, කතානායකවරයාට පහරදීමට උත්සාහ කිරීම, පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම, තර්ජනය කිරීම, වගේ චෝදනා විශාල ප්‍රමානයක් සනාථ කරන්න සාක්ෂි තියෙනවා කියලා තමයි මේ කමිටුව කියන්නේ. මේක කාපට් එක කඩතොළු කළා වගේ පුංචි දෙයක් නෙවෙයි..!

මේ කමිටුව කියනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු දඬුවම් ලැබිය හැකි වරද 16ක් කරලා තියෙනවා කියලා. ප්‍රසන්න රණවීර වරද 12ක්, විමල් වීරවංශ වරදවල් 10ක්, ඔහුගේම ගෝලයෙක් වුණ පද්ම උදය ශාන්ත වරද 9ක්, ප්‍රියංකර ජයරත්න වරදවල් 9ක්, මහින්දානන්ද අළුත්ගමගේ වරද 7ක්, ආනන්ද  අළුත්ගමගේ වරද 9ක් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ කමිටුව වරදවල් 8කට අඩුවෙන් කරපු අයත් වෙනම කැටගරියකට දාලා අපිට පහසුකරනවා.

එස්. බී. දිසානායක, පියල් නිශාන්ත, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, ජයන්ත සමරවීර, රෝහිත අබේගුණවර්ධන, තිලංග සුමතිපාල, දිළුම් අමුණුගම, සිසිර ජයකොඩි, කංචන විජේසේකර, සුසන්ත පුංචි නිලමේ, පවිත්‍රාදේවි වන්නිආරච්චි, රංජිත් සොයිසා, එස්. එම්. චන්ද්‍රසේන, ඩී. වී. චානක, අරුන්දික ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, විමලවීර දිසානායක, ෂෙහාන් සේමසිංහ, තේනුක විදනාගම, අනුරාධ ජයරත්න, සාරතී දුෂ්මන්ත, සනත් නිශාන්ත, කනක හේරත්, උදය ගම්මන්පිල, සාරානාත් බස්නායක, නිමල් ලංසා, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රමේෂ් පතිරණ, විජිත බේරුගොඩ, මොහාන් ප්‍රියංකර, රෝෂාන් රණසිංහ, වාසුදේව නානායක්කාර, සී. බී. රත්නායක, ටී. බී. ඒකනායක, ලක්ෂ්මන් යාපා, තාරක බාලසූරිය, ජානක වක්කුඹුර, බන්දුල ගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න, සාලින්ද දිසානායක, ප්‍රේමලාල් ජයසේකර හා දිලිප් ‍වෙදආරච්චි කියන මන්ත්‍රීවරු වැටෙන්නේ ඒ මල්ලට. මේ විදිහට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 55ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3ක් හා ජවිපෙ මන්ත්‍රීවරුන් 1ක් මේ සිද්ධියට චෝදනා ලබනවා.

අනේ මේ කමිටුව අපේ සල්ලි කාලා පරීක්ෂණ කරලා අන්තිමට කියනවා, මේ අයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා දඬුවම් දෙන්න ඇහැක් කියලා. එහෙම නැත්තං මේ මන්ත්‍රීවරුන් සිදුකර ඇති වරප්‍රසාද කඩ කිරීම්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරීම් වගේ වරදවල්වල ස්වභාවය බලලා පාර්ලිමේන්තු විවාදයකින් තොරව ‍යෝජනා සම්මතයකින් පමණක් මේ මිරිස්කුඩු ජෝගී මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවීමට පුලුවන් කියලා.  අපි දන්නවා මේ කිසි දෙයක් වුණේ නෑ කියලා. ඒ ආණ්ඩුව නැවතත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙලා විශාල ව්‍යසනයකට රට ඕපන් කරලා ගෙදර ගියා. අද අසාර්ථක පාලකයෙක් බලයට ඇවිත් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන එදා රඟපාපු මේ නාට්‍යය නිසා. ඩීල් දේශපාලනයේ ප්‍රතිපළ අපි හැවෝම අද භුක්ති විඳිමින් ඉන්නවා. දැන් මිනිස්සු හිතන්නේ යහපාලනය කියන්නේ මේවගේ ජෝගි දාපු එවුන් ආරක්ෂා කරමින් රට ව්‍යසනයකට තල්ලු කිරීමට කියලා.

කොහොමවුණත් එක රටක් නීති ගොඩක් කියලා තමයි අන්තිමට කියන්න වෙන්නේ…!

 

කේ. සංජීව

කරුගේ කතාව මෙතනින් අහන්න : https://youtu.be/6A1I4-9YvHg

Social Sharing
නවතම විශේෂාංග