බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ.

“රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා කම්කරු සංගමයේ රාජ්‍ය සම්මානලාභී ලේකම් ඇන්ටන් මාකස් පවසයි.

රජයේ සේවකයනට රුපියල් 5000 ක සහන දීමනාවක් ලබා දෙන බවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ කියා සිටියේ සිය ඇමෙරිකානු සංචාරය අවසන්ව යළි දිවයිනට පැමිණි ඇසිල්ලෙනි. එහෙත් ඔහු කියා සිටියේ පෞද්ගලික අංශ සේවකයන්ට ද සේව්‍ය සම්මේලනය සමඟ සාකච්ජා කර රුපියල් 5000ක මාසික  දීමනාවක් ලබා දීමේ වගකීම කම්කරු ඇමැතිවරයාට පවරා ඇති බවය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි විසින් ඊයේ (13) නිකුත් කරන ලද චක්‍රලේඛයකින් නිර්දේශ කර ඇති පරිදි “මාසික වැටුප් ලබන ස්ථිර/ තාවකාලික/ කොන්ත්‍රාත් නිලධරයන්, දෛනික වැටුප් ලබන නිලධරයන් හා විශ්‍රාමිකයින්” මාසික  දීමනාව සඳහා සුදුසුකම් ලබති.

රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කාර්ය මණ්ඩල සඳහා දීමනා ගෙවීම පිළිබඳ උපදෙස් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ඇතැයි ලේකම්වරයා පවසයි.

ඇන්ටන් මාකස් ඇතුළු පෞද්ගලික අංශ කම්කරුවන් නියෝජනය කර වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙන්නේ කෝවිඩ් වයිරසය පැතිරෙමින් තිබියදීත්, රට අගුලු දමා ඇඳිරිනීතිය පනවා තිබියදී අපනයන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශ කම්කරුවන් කිසිදු අමතර දීමනාවක් ද නොමැතිව වැඩ කළ බවය. එහෙත් රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව පෞද්ගලික අංශයේ සියලු කම්කරුවන්ට නීත්‍යානුකුලව ලබා දිය යුතු බව වෘත්තීය සමිති නායකයෝ ඉල්ලා සිටිති.

රුපියල් ලක්ෂ ගණනක් වැටුප් ලබනා රජයේ සේවකයන්ටත් රුපියල් 5000 සහන දීමනාව ලැබෙන මුත්, සොච්චම් වැටුපක් ලබනා ඇඟළුම්,වතු හා සෙසු පෞද්ගලික අංශයේ කම්කරුවන්ට එය අහිමි කිරීම ආණ්ඩුව විසින් පුරවැසියන් හට වෙනස් ලෙස සැලකීමක් බව වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් පවසයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සියයට පනහකින් පහත දමන ලෙස ද රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සංගමය, ශ්‍රීලංකා නිදහස් සේවක සංගමය,ලංකා වෙළඳ කර්මාන්ත හා පොදු කම්කරු සංගමය [CMU], එක්සත් කම්කරු සම්මේලනය,අන්තර් සමාගම් සේවක සංගමය වැනි   වෘත්තීය සමිති ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

රටේ පවතින තත්වය හමුවේ හාම්පුතුන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබා දිය නොහැකි බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා හා සේව්‍ය සම්මේලනයේ ප්‍රධානින් අතර ජනවාරි 10 වැනිදා පැවති සාකච්ජාවේදී අවධාරණය කෙරිණි.

“කර්මාන්ත හා සේවා බිඳ නොවැටී පවත්වා ගෙන යාමට ඉකුත් කාලය තුල විශාල ලෙස අතිරේක මුදලක් වැය කරන්න වුණා. අපනයන ආදායමද පහත වැටි තියෙනවා.රේගු ගාස්තු වැඩිවීම,අමුද්‍රව්‍ය ගැටළු සහ ආණ්ඩුව මගින් ලබා දෙන සහන අඩුවීම ආදිය වගේම නිෂ්පාදන පිරිවැය ඉහල යාමත් නිසා මේ දීමනා දෙන්න හිමිකරුවන්ට අපහසුයි,” යැයි  සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්‍ෂක ජනරාල් මංගල යාපා පවසයි.

ඉහල යන jවන වියදම හමුවේ බරපතල පිඩාවට පත්ව සිටින වතු කම්කරුවන් සඳහා ද සහනයක් සලසන ලෙස කළ ආණ්ඩුවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් හාම්පුතුන් කම්කරු ඇමතිවරයාට දන්වා ඇත්තේ වතුකරයේ පවතින තත්වය වෙනස්වන තුරු  රුපියල් 5000 ක් තියා සත 5 ක් වත් ලබා දීම දුෂ්කර බවය.

“කම්කරුවන්ගෙ දවසක වැටුප  රුපියල් 1000 ට වැඩි කිරීමත් එක්ක තේ නිෂ්පාදන මිල විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. ලෝක වෙළඳ පොලේ තේ මිල වැඩිවෙලා තිබුනත්, එකේ වාසිය වතු සමාගම්වලට ලබා ගන්න බැරිවෙලා තියෙන්නේ. ඒක බ්‍රෝකර්වරු ලබා ගන්නවා. අනෙක් අතට රසායනික පොහොර හිඟයත්, ඒ නිසා වන තේ කොළ නිෂ්පාදනයේ පහත වැටීමත් වැනි තත්වයක් යටතේ මේ වගේ විශාල දිමනාවක් කිසිසේත් දිය නොහැකියි.” යැයි සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මංගල යාපා විසින් කම්කරු අමාත්‍යවරයාට අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම