සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO

ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට නැගෙනහිරට උදම් රළක් මෙන් කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙයි.

2022 නව වසරේ මුල් සතිය වන විට ආසාදිතයන් මිලියන 07ක් වාර්තා වී ඇති අතර මෙම තත්වය අනුව මීළඟ සති දෙක ඇතුළත ආසාදිතයන් දෙගුණයක් වනු ඇතැයි ඔවුන් පවසා සිටී. තවද සති 6ත් 8ත් ඇතුළත සෑම ප්‍රාන්තයකම ජනගහනයෙන් 50%කට මෙම වෛරසය ආසාදනය වනු ඇතැයි වෛද්‍ය හෑන්ස් අවධාරණය කළේය.

නව පර්යේෂණවලට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේද මෙන් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වන අතර සාමන්‍ය හෙම්බිරිස්සාව වැනි ලක්ෂණ පමණක් පෙන්වයි. එමෙන්ම එන්නත්කරණයට ලක්වූවන්ට පවා මෙම වෛරස් ප්‍රභේදය වැළඳීමේ හැකියාව ඇත.

පසුගිය සඳුදා වන විට බ්‍රිතාන්‍යයෙන් පමණක් ආසාදිතයන් 142,224 වාර්ථා වී ඇති අතර මරණ 77ක් සිඳුවී තිබුණි. මෙයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ රෝහල් තුළ සේවකයන්ගේ පැමිණීමේ අඬුව සහ කොරෝනා හේතුවෙන් රෝගීන්ගේ පීඩනය වැඩි වීමයි.

තවද කොරෝනා වසංගතය හමුවේ මේ වන විට පෝලන්තයේ 100,000 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර, වැඩිම මරණ අනුපාතයක් වාර්ථා වී ඇති රටවල් අතරින් 3 වැනි ස්ථානය හිමි වන්නේ පෝලන්තයටයි. එරට ජනගහනයෙන් 60%ක් පමණක් එන්නත්කරණයට ලක් වී ඇත.

රුසියාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වුනු රෝගීන් දවසට 100,000කට ආසන්නයෙන් හමුවීම නිසා එරට රජයේ කොවිඩ් මර්දන කමිටුව එක් රැස් කර එය පාලනය කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නැයි පවසා ඇත.

10 වැනි සඳුදා දින ෆයිසර් ඖෂධ සමාගම විසින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට ඔරොත්තු දෙන එන්නතක් නිර්මාණය කර ඇති අතර එය මාර්තු මාසයේ දියත් කිරීමට සූදානම් නමුත් සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ එම එන්නත් වර්ගය දැනට අවශ්‍ය නොවන බවයි.

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්