නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.

අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා දැයි ඇස ගසා සිට එම රාජකාරිය නිසි අයුරින් කිරීමට අවැසි මඟපෙන්වීම් එම දෙපාර්තමේන්තුවට ලබාදීම මෙම අමාත්‍යාංශය භාර රාජකාරියයි. එහෙත් මහජනයා ලෙස අප බලාපොරොත්තු වෙන එම වැඩ කොටස මේ අමාත්‍යාංශයෙන් වර්තමානයේ සිදුවෙනවාද? එය විශාල ප්‍රශ්නයක් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මෙම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස සේවය කරන්නේ හිටපු හමුදා ප්‍රධානියෙක් ය. ඔහු අපි කවුරුත් දන්න රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ය. පියුමි හංසමාලි සිද්ධිය සමග මේ අමාත්‍යවරයා ගැන මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවිය. මාකඳුරේ මධුෂ් පොලිස් සහයෝගයෙන් ඝාතනය වීමේ සිදුවීමට පසුවද මේ අමාත්‍යවරයා ගැන මාධ්‍යයේ පමණක් නොව පාර්ලිමේන්තුවේද විශාල වශයෙන් කතාබහක් ඇතිවිය. මේ සියලු තත්ත්වයන් හමුවේ ඇඳගෙන නාන අමාත්‍යවරයෙක් ලෙස ඔහු ප්‍රකටය. අපි කියන්න යන මේ කතාවත් එක්තරා විදිහකට ඔහුගේ ඇඳගෙන නෑමක් ය. පසුගිය කාලයේ මේ අමාත්‍යවරයාගේ ගෝලයින් නිධන් හාරන්න ගියා යැයි ප්‍රසිද්ධ විය. දැන් ඒ කතාව මැකී ගොසින් ය. මේ කියන්න යන කතාවත් අමාත්‍යවරයාගේ ගෝලයෙක් ගැනය. සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ගැනය.

නීතිය අතට ගත් ලේකම් පුතා

Minister Sarath Weerasekara abuses the law

පසුගිය දෙසැම්බර් 24 දා සිට ජනවාරි 02 දා දක්වා ජයවර්ධනපුර කෝට්ටේ ‘කමත’ පරීශ්‍රයේදී ‘නාද මේලා’ නමින් සැනකෙළියක් පැවතී ඇති අතර එහි සෑම රාත්‍රියකම සංගීත ප්‍රසංගයක් තිබී ඇත. මෙම සැනකෙළිය සංවිධානය කර තිබුණේ ද අමාත්‍ය සරත් වීරසේකර සහ ඔහුගේ පුත් වෛද්‍ය සචිත්‍ර වීරසේකරය. මෙම සැනකෙළියේ දෙසැම්බර් 29 දා සන්ෆලවර්ස් සංගීත කණ්ඩායම සංගීතවත් වී ඇති අතර එය නැරඹීමට ජනක රත්නසිරි සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් up KE-.7454 දරන ජනකගේ කාර් රථයෙන් ‘කමත’ පරීශ්‍රයට පැමිණ ඇත.

‘අපි සංගීතය බලලා ඉවර වෙලා කාරෙකට නැඟලා කිඹුලාවල පැත්තට එන්න ආවා. ඒ වෙලාවේ මගේ කාර් එක ඉස්සරැහින් වම් පැත්තෙන් ආපු තරුණයෝ පිරිසකගෙන් එක් අයෙක් මගේ කාරෙකේ බොනට් එකට පහරක් ගැහුවා. මම ඒක ගනන් ගත්තේ නෑ, මම හෙමිහිට ඉස්සරහට වාහනේ පැදෙව්වා. ඒ එක්කම පිටිපස්සෙන් ආපු අනික් තරුණයෝ දිගටම වාහනේට ගහගෙන යන්න පටන් ගත්තා. මම මගේ පැත්තේ සටර් එක පාත් කරලා ඇහුවා ඇයි ගහන්නේ කියලා. ඒ අහනවාත් එක්කම එක්කෙනෙක් මගේ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකට පහර දීලා ඒක කුඩු කළා. මම එකපාරටම කාර් එක නවත්තලා බිමට බැස්සා. බහිනවාත් එක්කම අර පිරිස මාව වටකරගෙන මට හොඳටම ගැහුවා. ඒ එක්කම මගේ අනෙක් මිත්‍රයා (චමිත් රත්නායක) මාව බේරාගන්න ආවාම ඔහුටත් හොඳටම ගැහුවා.

Minister Sarath Weerasekara abuses the law Minister Sarath Weerasekara abuses the law Minister Sarath Weerasekara abuses the law Minister Sarath Weerasekara abuses the law

ඊට පස්සේ මම කාර් එකට නැඟලා කාර් එක එතනින් වෙන තැනකට අරං යන්න උත්සාහ කරනකොට ආයෙත් ගහලා දකුණු පැත්තේ වීදුරුවත් කුඩු කළා. ඒ එක්කම මිරිහාන පොලීසියෙන් නිළධාරීන් 10ක් විතර උප පොලිස් පරීක්ෂකයෙක් එක්ක එතනට ආවා. ඔවුන් මේ සිද්ධිය සමථයකට පත් කරන්න උත්සාහ කළත් අර තරුණ පිරිස කළහාකාරී විදිහට හැසිරුණා. ඒ වෙලාවේ එක පොලිස් නිළධාරියෙක් ‘මේක විසඳගන්න දෙගොල්ලොම යමු මිරිහාන පොලීසියට කියලා කිව්වා’. ඒ එක්කම එක තරුණයෙක් ඉස්සහරට පැනලා අර පොලිස් නිළධාරියාගේ කම්මුලට ගැහුවා. ඒ එක්කම අනෙක් තරුණ පිරිසත් දිගට හරහට ඒ නිළධාරියාට ගැහුවා. අනෙක් පොලිස් නිළධාරීන් ඔහේ බලාගෙන හිටියා’ මෙම සිද්ධියට මුහුන දුන් ජනක රත්නසිරි මෙම සිදුවීම විස්තර කළේ එලෙසින් ය.

කවුද වාහනේ කුඩු කලේ? කවුද පොලිස් නිළධාරියාට ගැහුවේ?

Minister Sarath Weerasekara abuses the law

සංගීත සංදර්ශනයක් අහවර වී බීමතින් පිස්සු කෙළීම තරුණ හැසිරීම්වල සාමාන්‍ය ස්භාවය යැයි අප සිතූවත් මෙම සිදුවීම තරුණකම සමග එන පිස්සු කෙළිල්ලක් නොවෙන බව පැහැදිලිය. මෙම සිදුවීමට මුහුන දුන් ජනක රත්නසිරි සහ චමත් රත්නායක යන දෙදෙනාම කියන ලෙස වාහනයේ ඉදිරිපස වීදුරුව කුඩු කර සහ පොලිස් නිළධාරියාට මුලින්ම පහර දෙමින් කළහාකාරී ලෙස හැසිරී ඇත්තේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වන වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන ඉන්දික කෝරළගේ මහතාගේ බාල පුතා වන ඉසිර කෝරළගේ ය. ඔවුන් දෙදෙනාම කියන්නේ මේ පුද්ගලයා ඕනෑම අවස්ථාවක තමන්ට හඳුනාගත හැකි බවය.

‘උබේ අංකය බලාගත්තා, උබට හෙට උදේ වෙන දේ බලාගනින්, උබ දන්නේ නෑ මම කවුද කියලා’ එහෙම තමයි අර තරුණයා පොලිස් නිළධාරියාට තර්ජනය කළේ. ඒ එක්කම එතන හිටපු තවත් තරුණයෙක් කෝල් එකක් අරගෙන කාටහරි කතා කරලා මෙහෙම කීවා ‘ අන්කල් පුතාට පොලීසියෙන් ගැහුවා අපිත් පොලීසියට ගහනවා’ එහෙම තමයි එතන උනේ’

ජනක රත්නසිරි කියන මේ කතාව දැන් ඔබට පැහැදිලි විය යුතුය. පොලිස් නිළධාරීන් පවා තුට්ටුවකට මායිම් නොකර මේ කෙළින පිස්සුව තරුණ පිස්සුවක් පමණක් නොවෙන බව දැන් ඔබට පැහැදිලි විය යුතුය. මෙතන තිබෙන්නේ අදාළ අමාත්‍යවරයා සතු බලය අවභාවිතා කිරීමක් ය. මේ කියන දූරකථන ඇමතුමට අනෙක් පැත්තෙන් ප්‍රතිචාර දක්වන්නේ සරත් වීරසේකර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ විය හැකිය. ඒ පිළිබඳව සොයා බැලීම ගුටිපුජාව භුක්ති විඳි මිරිහාන පොලීසියේ වැඩක් ය. එහෙත් තවමත් ඒ වැඩේ එසේ සිදුවී නැත. ගුටිකාපු එකා ගුටිකෑවා යන නියමය අනුව මිරිහාන පොලීසිය බකන්නිලාගෙන සිටින බවක් පෙනෙයි. අහෝ සරත් ඔබේ පොලීසිය කියා කියන්නට පමණි අපිට ඉතුරු..!

ගුටිකාපු මිරිහාන පොලිස් හැසිරීම

තමන්ගේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් ආයුධ පෙන්වන්නට රැඟෙන ගොස් මරාදමන ලංකාවේ පොලීසියේම ශාඛාවක් වන මිරිහාන පොලීසියේ මෙම සිදුවීම පිළිබඳ හැසිරීම කෙබඳුද? ඒ හැසිරීමනම් පයිසයක් තරම්වත් වටින්නේ නැතිබව පුරවැසියෙක් ලෙස ලියා තැබිය යුතුය.

‘පොලීසියට ගහනකොටම 119 ගහපු පොලිස් කාර් එකක් එතනට ආවා. ඒ කාර් එකේ ආපු නිළධාරියෙක් එතන හිටපු නිළධාරියාට යමක් ප්‍රකාශ කළා. ඒ එක්කම පොලිස් නිළධාරීන් දෙන්නෙක් අර කළහාකාරී විඳිහට හැසිරුණ තරුණයාගේ අතින් අල්ලගෙන හරි ආදරෙන් එක්කරගෙන ගිහිං පාරෙන් අනික් පැත්තේ තිබුණ කළු පාට ප්‍රභූ රථයට ඒ තරුණයා නැඟ්ගුවා. මිනිහා රියදුරු අසුනට ගොඩවෙනවාත් එක්ක අනෙක් තරුණයොත් ඒ වාහනේට නැඟලා එතනින් පිටවෙලා ගියා. පොලීසියත් අපි ගැන බලන්නෙවත් නැතුව යන්න ගියා. මේ යනවාත් එක්කම අපි ඒ වාහනේ පින්තූරයක් ගත්තා. ඒකේ අංකය තමයි කේ ජේ 7739’

ගුටිකාලා හෙම්බත්වෙලා හිටපු ජනක රත්නසිරි සහ මිත්‍රයා මේ වාහනයේ පින්තූරය ගත් නිසා මේ සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් කවුද යන්න සහ මේ වාහනය කාගෙද යන්න හෙළිවෙන බව කිවයුතුය. මිරිහාන පොලීසියේ පොලීසියට තරම් නොවන මේ නිවට හැසිරීමෙන් පසුව කරකියාගත හැකි දෙයක් නොමැතිව සහ බියෙන් වේදනාවෙන් පසුවෙන මෙම තරුණයන් 30 දා උදේ පාන්දර 3.21ට 119 අමතා පැමිණිල්ලක් කර ඇත. එම ඇමතුමට එදිනම උදෑසන 5.36ට ප්‍රතිචාර දක්වන මිරිහාන පොලීසිය ඔවුන්ට පවසා ඇත්තේ උදේ 10.30ට පැමිණ කට උත්තරයක් දෙන ලෙසය. ඒ අනුව එම ස්ථානයට යන මෙම තරුණයන් දෙදෙනා CIB III 217/245 යටතේ පැමිණිල්ලක් ගොනුකර ඇත. අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන ඇත. එහිදී පැමිණිල්ල ලියා ගත් පුද්ගලයා උ.පො.ප. ප්‍රභාත් ය. මිරිහාන පොලීසිය මේ පැමිණිල්ල ලියාගන්නේ දෙසැම්බර් 30 දා ය. එහෙත් අද (11) වෙනකම් කිසිඳු විභාගයක් නැත.

මේ ලියුම්කරු මිරිහාන පොලීසියේ එච් කිව් අයි එච් එම් පී තුෂාර මහතාගේ 0718591644 දූරකථනයට අමතා මේ සිදුවීම පිළිබඳව සහ මේ පැමිණිල්ල පිළිබඳව විමසීය. එයට පිළිතුරු දුන් වෙනත් නිළධාරියෙක් කීවේ මෙවැනි සිදුවීමක් පිළිබඳව කිසිවක් තම පොලිස් ස්ථානයට වාර්තාවී නැති බවය. ඉන්පසු මෙම පැමිණිලි අංකය සඳහන් කරමින් පැමිණිල්ල ගැන විමසූවිට ඔහු ඒ ගැන බලා කියන්නම් කියා කීවේය. ලියුම්කරු පසුදා නැවතත් ඉහත අංකයට කතා කර ඒ පිළිබඳව විමසීමේදී ඇමතුමට කතා කළ නිළධාරියා පැවසූවේ කළින් කතා කළ නිළධාරියා උසාවි ගොස් ඇති බවය. මේ අනුව මේ පැමිණිල්ල පිළිබඳව මිරිහාන පොලීසියේ වැඩ සිද්ධවෙන ආකාරය ගැන පැහැදිලිය.

චන්ඩි පුතා පැමිණි වාහනය කාගේද?

Minister Sarath Weerasekara abuses the law

කලහකාරි ලෙස හැසිරුණ තරුණ පිරිස පිටව ගිය ප්‍රභූ වාහනය ( wp KJ- 7739  ) පිළිබඳව සොයා බැලීමේදී එය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයෙන්, එහි සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සේ පත්වී සිටින ඉන්දික කෝරළගේට ලැබුණ රජයේ වාහනයක් ය. මෙම තරුණයන්ට පහරදී ඔවුන්ගේ වාහනයටද අළාභහානී කර පොලීසියටද පහර දුන්නා යැයි කියන තරුණයා යැ‍යි සැක ඉසිර කෝරළගේ ගේ මුහුනු පොතට ( facebook ) එබුන මේ ලියුම්කරුට මේ රාජයේ වාහනය පිළිබඳව සිත් කාවදින තොරතුරු දැකිය හැකි විය. ප්‍රොපයිල් පින්තූරයේ සිටින්නේ මෙම වාහනයේ බොනට්ටුව මත නැඟී ගත් ඉසිර කෝරළගේ ය. එහි බොහෝ පින්තූරවල මෙම රාජ්‍ය වාහනය ඇත. නමුත් ඒ කිසි පින්තූරයක රාජ්‍ය සේවය පිනිස මෙම රථය යොදාගන්නා බවක් නම් පෙනෙන්නේ නැත. එහි ඇත්තේ ඉසිරගේ පුද්ගලික ක්‍රියාකාරකම් සඳහා මෙම රථය අවභාවිතා කරන පින්තූරය. ඉසිර කෝරළගේ සහ ඔහුගේ වැඩිමල් සොහොයුරාගේ ෆේස්බුක් අඩවි නිරීක්ෂණයේදී පැහැදිලි වන්නේ රාජ්‍ය ලාංචනය සහිත වාහන දෙකක් තම පියාවන ඉන්දික කෝරළගේ ට සම්බන්ධීකරණ ලේකම් තනතුර සඳහා ලැබී ඇති බවය. ඔහු ළඟ තිබෙන මේ වාහන තුළ රාජ්‍ය ලාංචනය තිබෙන නිසා ඒවායින් සිදුවන වැඩ ගැන පුරවැසියාට ප්‍රශ්න කරන්නට අයිතියක් ඇත. තමන්ට රාජ්‍ය සේවය සඳහා ලැබුණ වාහනය තමන්ගේ පුතා සංගීත සංදර්ශනයක් බලන්න රැගෙන යාම පිළිබඳව සහ එහි ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට පහර දීම ඔවුන්ගේ දේපලවලට අළාභහානී කිරීම පිළිබඳව පුරවැසියාට ප්‍රශ්න කරන්න අයිතියක් ඇත.

ඉන්දික කෝරළගේ ගේ උත්තරය

පසුගිය ජනවාරි 10 දා  මේ ලියුම්කරු, මෙම සිද්ධිය ගැන විමසීම සඳහා ඉන්දික කෝරළගේ මහතා ඇමතීය. ඔහු මේ ලියුම්කරුට මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

‘ මල්ලී ඔයා කතාකරපු එක හොඳයි. ඔය කියන දවසේ මම හිටියේ අම්පාරේ. කොල්ලෝ ගහගන්නවා තමයි. ඒත් මම මේක ගැන සොයලා බලන්නම්’

එහිදී මෙම ලියුම්කරු වාහනය ගැන විමසූවිට ඔහු කියා සිටියේ තමන්ට රජයෙන් ලැබුණ වාහනයක් තිබුණත් එහි අංකය මතක නැති බවය, තමන්ගේ පුතා අවුරුදු 18ක කැම්පස් යන තරුණයෙක් බවත් ඔහු මෙවැනි දේකට සම්බන්ධ වේයැයි තමන් නොසිතන බවත් ප්‍රකාශ කළ ඔහු නැවත අමතන බව ප්‍රකාශ කරමින් දූරකථනය විසන්ඳි කළේය. පසු දා එනම් ජනවාරි 11 දා උදෑසන මේ ලියුම්කරු අමතන ඉන්දික කෝරළගේ මහතා, මල්ලී මට අර පුතාලව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද? මම මේක ගැන ඇත්ත දැනගන්න ඕනෑ. කොල්ලෝ ගහගන්නවා තමයි ඒත් මගේ කොල්ලන්ට එහෙම ගහගන්න බෑ. මම එහෙම දරුවෝ හදලා නෑ. එහෙම දෙයක් වෙලා තියෙනවානම් මම නිකං ඉන්නේ නෑ.’ යැයි පැවසීය.

තාත්තෙක් වශයෙන් මෙවැනි සිදුවීමකදී තම පුතාට දඬුවම් කර ඔහුව නිවැරදි කරගැනීම ඔහුට අයත් රාජකාරියක් ය. එහෙත් රාජ්‍ය දේපල අවභාවිත කරමින් පුරවැසියන් දෙදෙනෙකුට පහරදී තුවාල කරමින්, එම පුරවැසියන්ගේ දේපලවලටද අලාභහානි කරමින් සහාසික ලෙස හැසිරුණ තරුණයෙක්ට ඔහුගේ තාත්තා ගහලා හදාගන්නම් කියූ පමණින් සියල්ල නිවැරදි වන්නේ නැත.

මෙම සිදුවීම සමථයකට පත් කිරීමට එම අවස්ථාවේදී අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිළධාරියෙකුට ද පහරදුන් මේ පුද්ගලයා පිළිබඳ නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙම නැතුව ගෙදරින් ගහලා හදාගන්නවා කී පමණින් රාජ්‍යකට නිහඬව බලන් සිටිය නොහැකිය. නිහඬව බලන් සිටිනවා නම් එයින් හැඟවෙන්නේ ඉන්දික කෝරළගේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිසා පොලීසිය ඇස්කන් පියාගෙන සිටි බවය. එයින් නැවත නැවතත් හැඟවෙන්නේ අමාත්‍ය සරත් වීරසේකර සතු බලය ඔහුගේ ගෝලයන් අවභාවිතා කරන බවය. එනිසා යළිත් කියන්නේ මිරිහාන පොලීසිය මේ පුරවැසියා ගැන සහ ගුටිකාපු තම නිළධාරියා ගැන සිතා යටගසා බකන්නිලාගෙන සිටින සිටිල්ල අවසන් කර නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

මේ සම්බන්ධව ජනක රත්නසිරි පොලිස්පති කාර්‍යාලය වෙතද පැමිණිල්ලක් යොමුකර ඇත. එයටද තවමත් කිසිඳු ප්‍රතිචාරයක් නැත.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග