හෙට මැරුණත් හිතට සැපයි කීවත් අපිට ටිකක් දුකයි..!

‘ නොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ – මැරුණු දාට කොෆින් එකේ අපි නිදියන්නේ ‘ ගයපු ඩෙස්මන්ඩ්,  ‘සුමිහිරි පානේ පදමට ගහලා – හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා’ ගයපු ඩෙස්මන්ඩ් යන්න ගිහිං…! ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ අපි සොමියේ ඉන්නකොට කියපු සිංදු වැඩි හරියක අයිතිකාරයා. බයිලා ගායකයෙක් කියලා ඩෙස්මන්ඩ්ව හැඳින්වුවත් සිංහල පොප් සංගීතයේ නැතිනම් ජනප්‍රිය ගීතයේ ඩෙස්මන්ඩ් කියලා කියන්නේ මගාරින්න බැරි සන්දිස්ථානයක්. ලකුණක්.. ‘නිල්වන් මුහුදු තීරයේ’ වගේ ගීතයක් බයිලා ගීතයක් කියලා කියන්න පුලුවන්ද?

60-70 දශකවල සංගීත ලෝලියෝ ඩෙස්මන්ඩ්ව හඳුන්වලා තියෙන්නේ ලංකාවේ එල්විස් කියලා. ඒකට හේතුව ඔහු සුමියුරු විඳිහට බටහිර ගීත ගායනයම වෙන්න බැහැ. 1963 අවුරුද්දේ ‘ෆයර් ෆ්ලයිස්’ එක්ක ගීත ගයන්න පටන් ගත්ත ඩෙස්මන්ඩ් ද සිල්වා කෙටි කාලෙකින් සංගීත ක්ෂ්ත්‍රයේ ස්ථාවර ගමනක් යන්න පටන් ගන්නවා. 1976 දී තමයි ඔහු ‘ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන්’ කියන ඔහුගේම සංගීත කණ්ඩායම පටන් ගන්නේ. ඒ කියන්නේ ජනප්‍රියත්වය කියන කඳු මුදුනට ඇවිත්. ඔහු ගැන ටිකක් සොයන කොට තමයි කියවන්න ලැබුණේ ඔහු මුල් කාලයේ එල්විස් ප්‍රෙස්ලිගේ ගීත වගේම ටොම් ජෝන්ස්ගේ ගීතත් ගැයුවා කියලා. ඔහුගේ ඉංග්‍රීසි ගායනාවන් ඔහුගේ සිංහල ගායනාවන් තරම්ම එවක ජනප්‍රියයි කියලා තමයි කියවන්න ලැබෙන්නේ. ඩෙස්මන්ඩ්ගේ සිංහල ගීතාවලිය අස්සේ මේ බටහිර සෙවනැල්ල තිබෙනවා. සුභාවිත පීචන් කියලා ගීතය මරාන්තිකව බෙඳලා තියෙන පසුබිමක තමයි ඩෙස්මන්ඩ්ලා බයිලා ලේබල් එකත් ගහගෙන ලංකාවේ ජනප්‍රිය සංගීතය දෙවනත් කරන්නේ.

දොර ඇරපන් ආයා සුදා කියලා බිග් මැචෙක දවසේ පාරේ නටපු ඩෙස්මන්ඩ් බබී ආච්චිගේ බයිසිකලේ යනකොට ඒ බයිසිකලේ අරගෙන අපි පුංචිම කාලේ ඉස්කෝලේ ට්‍රිප් ගියා තවමත් මතකයි. ඒ ට්‍රිප් අස්සේ උනත් ගමේ වාඩියේ බජව්වේ වුණත් යමං බණ්ඩෝ වෙසක් බලන්ඩ නොගැයුනේ නෑ. විල්සොන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා කියලා ඩෙස්මන්ඩ් කීවාම තමයි අපිට ගමේ ටීටර් මාස්ටර් ට නැත්තං ගමේ පොල්කොටන් උඩ වේදිකාවේ නාට්‍ය පෙන්නපු නාට්‍ය මාස්ටර් ගැන ආදරයක් ඇතිවුණේ. ගමේ නගරයේ හිටපු ඒ මිනිස්සු ගැන අදටත් අපේ අම්මලා තාත්තලා ආදරෙන් කතාකරනවා. ඒ කතාවල් රූප අපේ ඔලුව අස්සට එබුවේ ඩෙස්මන්ඩ්ගේ මාස්ටර්ගේ සර්පිනාව තමයි ඉතිං.

කිරිල්ලී රං කිරිල්ලී කියපු ඩෙස්මන්ඩ්ම පොල්කටු හැන්දෙ මිට වගේ රූබර ඇගේ ආදරේ කියනකොට, අපි ඒක පදමට ගහලා උගුරු කැඩෙන්න ගයනවා. මේ හැම සිංදුවක් අස්සෙම ඩෙස්මන්ඩ්ගේ කලර් එක තිබුණා. ඒක මටනම් බයිලාවක් නෙවෙයි. ඒක තමයි ලංකාවේ පොප් එක. නැත්තං ජනප්‍රිය ගීතය.

Social Sharing
නවතම විශේෂාංග