අනේ අපොයි අප්පොච්චි…!

හැමතැනම නිව්ස් යනවා මහින්ද රාජපක්ෂ දේශපාලන ජීවිතයට සමුදෙනවා අගමැති ධුරයෙන් යනවා කියලා. රාජපක්ෂ පවුලට මහින්ද විශ්‍රාම ගන්වන්න ඕනෑය ඒ සඳහා ඔවුන් කාර්‍යාලයකුත් ඇරලා කියලා තවත් නිව්ස් එකක් දැක්කා පහුගිය දවසක. ඒ අස්සේ බැසිල් රාජපක්ෂ එහෙයියන්නට (අපහාසයට නොවන බව සලකන්න/ එහෙයි කීමේ ආනිසංස ගැන දන්නෝ දනිති එය..!) ඕනෑ වෙලා අප්පච්චි පැත්තකට කරන්න. ඒ අහු අස්සේ මු ආනන්ද හාමුදුරුවෝ හමුවෙන්න යනවා මහින්ද රාජපක්ෂ. ‘අනේ හාමුදුරුවනේ මගේ තුන්හිතකවත් නෑ අයින්වෙන්න අදහසක් ‘ කියලා මහින්ද කිව්වා කියලා හාමුදුරුවෝ අපිට පස්සේ කියනවා.

මේ සියල්ල අස්සේ අබල දුබල මහින්ද බොහෝම අමාරුවෙන් තමන්ගේ දේශපාලන නායකත්වය බලපරාක්‍රමය පවත්වාගෙන යන්න විශාල මහංසියක් ගන්නවා. ඒක ඇත්තටම වේදනා ගෙන දෙන අරගලයක් බව බලාගෙන ඉන්න අපිට පේනවා. අපි අපේ සීයලා ආතල මෙහෙම මහංසි වෙනකොට කියනවා ‘අනේ සීයේ නහින දෙහින කාලේ ඇයි මෙහෙම ගෙදරට වෙලා බනක් භාවනාවක් කරගෙන ඉන්නකෝ’ කියලා. ‘නැත්තං යන තැනකට වැඩ සිද්ධ කරගන්න කෝ’ කියලා. ඒත් මෙතනදී ඒ තර්ක සියල්ල බිඳෙනවා.

පවුල යටින් කතාවක් යවනවා වෙන්න පුලුවන් ‘ මහින්ද ලොකු අයියට අපි විශ්‍රාම ගන්න කියලා කොච්චර කියනවද ඒත් මේකා ඒක අහන්නෙ නෑනේ ‘ කියල. ඒත් ඇත්ත මොකද්ද?

මට නම් හිතෙන්නේ පාංකඩ කෑල්ලක් වෙලා හරි මහින්ද දේශපාලනයේ නොහිටියොත් මේ පවුල දේශපාලනය කරලා ඉවරයි. කොටින්ම මහින්ද කියන සුරුවම නැතිවුණ කලට රාජපක්ෂ පවුලට ලංකාව අස්සේ දේශපාලනයක් නෑ. කොටින්ම පුරාවෘත්තයක් බදු බැසිල් රාජපක්ෂ මැතිදුන්ටවත් ලංකාවේ දේශපාලනයක් නෑ.

මහින්ද රාජපක්ෂ කියන සුරුවම නැතිවුණ දවසට නාමල් රාජපක්ෂගේ ඔලුවට අතහෝදන්න කීදෙනෙක් ඇගිලි ගනිනවා ඇත්ද?..හිටපංකෝ උබලට දෙන්න කියලා ඔය වටේ ඉන්න පිරිවරගෙන් කීදෙනෙක් කියනවා ඇත්ද?..

මට හිතෙන්නේ රාජපක්ෂ පවුල මේක හොඳටම දන්නවා. කෑම මේසයේ වාඩිවෙලා ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්න දක්ෂ මේ සහෝදරයෝ ටික මහින්ද අයියගේ මහින්ද මල්ලිගේ වටිනාකම හොඳටම දන්නවා. යුද්ධය ඉවර කරපු මහින්ද, උඩු රැවුල්කාර මහින්ද, බඩට ඩොග්ගාල අනින මහින්ද, නිසා තමයි තාමත් මිනිස්සු වළව්වට සලකන්නේ කියලා මේ පවුල හොඳටම දන්නවා.

මේක මහින්දගේ පැත්තෙන් විශාල ඛේදයක්. සෝකයක්. කරුමයක්. ඒ කරුමෙට කරගහලා ඉන්න මහින්ද අද හාමුදුරුවෝ ළඟට ගිහිං බොහෝම අමාරුවෙන් තව කාගේ හරි වාරුන් නැවෙනවා. මුහුන ඉදිමිලා මහින්දමය මුහුන යටගිහිං. සුවිශාල කැරිස්මාවක් දරාගෙන හිටපු ශරීර කූඩුව විශාල වේදනාවක කතාවක් තමයි දැන් කියන්නේ. මහින්දට ආදරේ මිනිස්සුන්ට අනේ අපොයි කියලා අද කියවෙනවා. ඒ මේ මනුස්සයා විඳින දුක වේදනාව දැක්කාම.

මේ යනවිදිහට මහින්ද ලොකු අයියාට මැරිලත් මේ පවුල බලාගන්න වෙනවා සිකුරුයි. ඒක විශාල ඛේදවාචකයක් නෙවෙයිද?..!!

කේ. සංජීව

 

Social Sharing
නවතම විශේෂාංග