“කායවර්ධන සම්මේලනය කඩා වැටුණේ ඇයි?” හිටපු සභාපති හෙළිකරයි.

ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා ක්‍රීඩකයින් විශාල පිරිසක් ක්‍රීඩාව හැර ගොස් ඇති බවත් විශේෂයෙන්ම කායවර්ධන සම්මේලනය අද වන විට දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව ඇතැයි ශ්‍රි ලංකා කායවර්ධන, ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපති, දකුණු ආසියාතික කායවර්ධන සම්මේලනයේ උප සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා පවසයි.

කායවර්ධන ක්‍රීඩාව ලංකාව තුල ඉහළ මට්ටමක පැවති නමුත් අද වන විට කායවර්ධන සම්මේලනයක් නැති තැනක් බවට පත්ව ඇතැයිද ඔහු පවසයි.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වූ කපිල කුමාර නැමැත්තා ඉන් ඉවත් වන විට ඔහුගේ ඥාති පුත්‍රයෙකු වූ පුලස්ති තරංග යන අයට ව්‍යාජ සහතික නිර්මාණය කර දී කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයෙකු බවට පත් කළ බවත් පසුව කපිල කුමාරගේ වංචා, අක්‍රමිකත්‍රා හෙළිවීම නිසා පුලස්ති තරංගට ලේකම්ධුරයෙන් ඉවත් වීමට සිදු වු බවද කිත්සිරි ප්‍රනාන්දු මහතා කියයි.

ඉන් අනතුරුව එහි ලේකම් ලෙස හේමාල් ඩයස් මහතා පත් වූ බවත් පසුව ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා නිසා ඔහුටද එම ධුරයෙන් ඉවත් වීමට සිදු වු අතර පසුව එම තනතුර සඳහා නිහාල් වීරතුංග නැමැති අයෙකු පත් කෙරුණු බවද ඔහු සඳහන් කර සිටියි. මොහුගේ පත්වීම නීත්‍යානුකූල පත්වීමක් නොවන බව පෙන්වා දෙන කිත්සිරි මහතා කියා සිටින්නේ කපිල කුමාරගේ වංචා සම්බන්ධයෙන් විශ්‍රාමික මහධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් එවකට ක්‍රීඩා අමාත්‍යව සිටි දයාසිරි ජයසේකර මහතා විසින් පත් කළ බවය.

එම කමිටුවේ නිර්දේශ මත කපිල කුමාරට ජිවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් ලබා දී ඇත. ඒ 2018-01-09 දාය. නමුත් දයාසිරි ඇමතිවරයා සිය අමාත්‍යධුරයෙන් ඉවත්ව යාමට ප්‍රථම නැවත එම දඬුවම වසර දෙකක් දක්වා අඩු කළ බවද කිත්සිරි මහතා පවසයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් වූ විට කපිල කුමාරගේ දඬුවම ඉවත් කර නිදොස් කොට නිදහස් කළ බවට මාධ්‍ය වල ලිපි පළ වු බව පෙන්වා දෙන කිත්සිරි මහතා කියා සිටින්නේ එය බොරුවක් බවය. ඒ සම්බන්ධයෙන් ඔහු සන්තකයේ සාක්ෂි ඇති බවද ඔහු කියා සිටියි.

කපිල කුමාර යන අය ලේකම්ව සිටින නිහාල් වීරතුංග සමඟ එක් වී ක්‍රීඩකයින්ගේ සහතික කොල්ලකමින්, ඔවුන්ගේ තරඟ අවස්ථා අහිමි කරමින්, ක්‍රීඩකයින්ට හිමි මුදල් වංචා කරමින් කායවර්ධන සම්මේලනය නැත්තටම නැතිවෙන තැනට වැඩකටයුතු කරමින් සිටින බවට චෝදනා කර සිටියි.

2019 වසරේ සිට කායවර්ධන සම්මේලනයක් නොමැති බවත් එය අතුරු පාලක මණ්ඩලයක් වෙත පත් කළත් එයද දැන් අහෝසිව ගොස් අවසානයේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේම පවතින බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ කායවර්ධන ක්‍රීඩාව යළි නැංවීමට මේ වංචාකාරයින් ඉවත් කර ක්‍රීඩාවට ලැදි පුද්ගලයින් මේ සඳහා පත් කළ යුතු බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ තොරතුරු ප්‍රකාශ කර සිටියේය.

-ශානිකා-

Social Sharing
නවතම