බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

සමෘද්ධි ලාභීන්ට දැනට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් එකතුකිරීමටත් යෝජනා කර ඇති අතර අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා ඇති බදු සියල්ල ඉවත් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලැබෙන අතර වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව පියවා ගැනීමට ඉදිරියේ දී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද තීරණය කළ බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර අපි වවමු – රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු සඳහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට ඒ සඳහා රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බව මුදල් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ සඳහා රජය වැයකරන මුදල රුපියල් බිලියන 229ක් බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම