විදෙස්ගත ශ්‍රමික ජිවිත 35 ක් කොරෝනා උදුරා ගද්දී, මව්බිමට ඒමට ඇති අයිතියත් අහිමි වේ.

කොරෝනා වෛරසය වැළඳීමෙන් මේ වන විට ලංකාවේ පුද්ගලයින් 11 කු මිය ගොස් ඇත. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2612 කි. එය ලෝකයේ අනෙක් රටවල් හා සැසඳිමේදී ඉතාම අවම මට්ටමක ප්‍රමාණයකි. මේ ගැන අපේ රටේ නායකයෝ විවිධ අවස්ථා වල පුරසාරම් දොඩන්නේය. ඒ ලංකාව කොරෝනා පාලනය කළ බවටය.

නමුත් අපේ රටේ 11  කු මිය යන විට ලෝකයේ මැද පෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් 35 කු කොරෝනා අසාදනය වීමෙන් මිය ගොස් ඇත. මෙය ලාංකිකයින් වශයෙන් අප කණගාටු විය යුතු කරුණකි.

2020-07-10 වෙනි දින ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණේ මැද පෙරදිග රටවල සේවය කළ ලාංකික ශ්‍රමිකයින් 12 කු ඉකුත් සති තුනේදී වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවය. ඒ අනුව එම වෛරසය වැළඳිමෙන් මිය ගිය මැදපෙරදිග සේවය කළ ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සවුදි අරාබිය, කුවේට්, කටාර්, ඕමාන්, ලෙබනනය ආදි රට වලින් මෙම මරණ වාර්තා වී ඇති බවද ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත. මෙම මිය ගිය තිස් පස් දෙනාගෙන් තිස් තුන් දෙනෙකුම පිරිමි පුද්ගලයෝය.

මොවුන්ව කල්තියාම ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වුවානම් ඔවුන් අද ජිවතුන් අතරය. රට විරුවන් ලෙස හැඳින්වුවද සැබවින්ම මොවුන්ට හිමි තැන තවමත් මේ රජය ලබා දීමට අපොහොසත් වී ඇති බවක් පෙනෙන්නට ඇත.

මේ අතර කොරෝනා අනතුරට මුහුණ දී සිටින මැදපෙරදිග ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වහා ගෙන්වා ගන්නා ලෙස කියමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ඉකුත් 08 දා කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සිදු කළහ. ඔවුන් ඉල්ලා සිටින්නේද මේ අනතුරට මුහුණ පා සිටින ශ්‍රි ලාංකිකයින් වහාම රජය මැදිහත් වී මෙරටට ගෙන්වා ගන්නා ලෙසය.

කොරෝනා වසංගතය නිසා පහුගිය අප්‍රේල් 21 දා සිට මැයි 20 දා වන විට රටවල් 15 ක සිටි ශ්‍රි ලාංකිකයින් 3600 කු මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර තිබුණි. නමුත් මේ සියල්ලෝම විදෙස්තගත ශ්‍රමිකයින් නොවේය.

මැයි 27 දින වන විට රටවල් 123 කින් පුද්ගලයින් 42522 ක් නැවත ශ්‍රි ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් පසු විය. මෙයින් 34881 ක් සංක්‍රමණික ශ්‍රමිකයින් වන අතර ඉන් 20893 ක් මැද පෙරදිග ජිවත් වන අතර කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් 4961 ක් සහ සිසුන් 2016 ක් ද ඒ අතර වේ.

දැනට මාලදිවයිනෙන් නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ආසන්න වශයෙන් 7000 ක පමණ පිරිසක් රැඳී සිටින අතර ඉන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් මාලේ අග නුවර රැඳී සිටියි. මැයි 14 වන දින 284 කු නැවත මෙරටට ගෙන්වා ගෙන තිබුණි.

මැදපෙරදිග මෙන්ම වෙනත් කලාප වලින් සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමත් මෙම ප්‍රජාවන් අවදානමට ලක් වීමේ හැකියාව පිලිබඳ විමසා විශේෂයෙන් සත්කාරක රටවල නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන් පිලිබඳ සලකා බලා අඛණ්ඩව සිදු කරන බවට විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික කර සිටියේ ඉකුත් මැයි මාසයේදීය.

නමුත් තවමත් සම්පුර්ණයෙන්ම මොවුන් ගෙන්වා ගෙන නැත්තේය. මේ අතර ශ්‍රි ලංකාවේ දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් හට ගැනීම හේතුවෙන් හෙට (14) සිට විදේස්ගත වූවන් යළි මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් (විදේශ සබඳතා) අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කර තිබුණි.

නිරෝධායන මධ්‍යස්ථාන වල පවතින ඉඩකඩ සීමා වීම හා කන්දකාඩු කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමට තිබීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.

නමුත් ඊට ප්‍රථම මාලදිවයිනේ හා ජෝර්දානයේ සිටින ශ්‍රි ලාංකික කණ්ඩායමක් මෙරටට ගෙන්වීමටද නියමිතව ඇතැයිද නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ නැවතත් යථා තත්ත්වයට පත් වූ විට විදෙස්ගත ශ්‍රි ලංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අද දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ යථා තත්ත්වයට පත් වෙනතුරු විදේශයේදී ලාංකිකයින් කොරෝනාවට බිලි දිය යුතුද යන්න මෙහිදී මතුවන ගැටලුවකි. ඔවුන්ද ශ්‍රි ලාංකිකයින්ය. ඔවුන්ට මෙරටට පැමිණිමේ අයිතියක් ඇති බවත්, රෝග වලින් ආරක්ෂා වීමේ අයිතියත් ඔවුන්ට ඇති බව මෙරට බලධාරීන් තේරුම්ගත යුතුව ඇත.

-ශානිකා-

 

Social Sharing
නවතම