මහ මැතිවරණය කල් දමනවාද? නැද්ද? තීරණය කඩිනම් කරන්න – රනිල්

කොරෝනා දෙවන රැල්ලක්  රට තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් මහ මැතිවරණය කල්දමනවාද නැද්ද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට කඩිනම්  තීරණයක් ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොරෝනා ව්‍යසනය හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටී ඇති අවස්ථාවක රට තවදුරටත් අනතුරේ හෙළිය නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් දැනුවත් කිරීම නිමිත්තෙන් ඊයේ (12) මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මහ මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් අපේක්ෂකයන් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් සිටින නිසා ඉක්මන්  තීරණයක් නොගතහොත් වියදම් වන මුදල් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි කී පක්ෂ නායකයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසයේ සැබෑ තත්ත්වය  සම්බන්ධයෙන් රජය නිවරැදි ප්‍රකාශයක් කළ යුතුයි. කෙරෝනා දෙවන රැල්ලේ අවදානම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් අවදානම පිළිබඳව කොළඹ පිහිටි  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලයෙන්  විමසුවහොත් ඔහු සැබෑ තත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ.

ඒ නිසා සෞඛ්‍ය අංශ, වෘත්තීය සංගම් ඇතුළු සියළු දෙනා එක් ස්ථානයකට කැඳවා ඉක්මන් තීරණයක් ගත යුතුයි.

කොරෝනා රැල්ල පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් PCR පරීක්ෂණ පැවැත්විය යුතු බව මම දිගින් දිගටම ප්‍රකාශ කරද්දි ආණ්ඩුව සිදුකළේ රුපියල් පන්දහසක මුදලක් ජනතාව අතට ලබා දී මහ මැතිවරණය සඳහා සූදානම් වීමයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෙහෙස වී ක්‍රියාත්මක වුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. යුද්ධය පැවති අවස්ථාවේදී සෞඛ්‍ය අංශ සඳහා ලබා දුන් ත්‍රස්තවාදී දීමනා පවා ලබාදීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා.

කොරෝනා පළමු රැල්ලෙන් බිඳ වැටුණු රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන හයදහසක මුදලක් අවශ්‍යයි. දෙවන රැල්ලෙන් රටේ ආර්ථිකය බිඳ වැටුණොත් යළි ගොඩනැගීම සඳහා එවැනි දෙගුණයක මුදලක් අවශ්‍ය වෙනවා. ඒ නිසා දෙවන රැල්ලකට හසු නොවී රට ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

මැතිවරණය අවලංගු කරන බව තව දුරටත් කල් ගත කරමින්  සිට තීරණය කළහොත් ඉන් සියලුම පක්ෂ වල අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර මහ නගරාධිපති කේසර සේනානායක, එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායක ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුලු මහනුවර දිස්ත්‍රිකයේ සියලුම අපේක්ෂකයන් හා පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම