රාජිත සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් – CSTUC

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා පක්ෂ විපක්ෂ ඇතුලු අනෙකුත් සියලුම කණ්ඩායම් ඒකතු කර ගනිමින් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා මැදහත් වනු වෙනුවට, අත්දැකීම් සහිත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස ද කටයුතු කළ, ඒමෙන්ම වෛද්‍යවරයෙකු ද වන හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මෙසේ සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් පවතින බව, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති ඒකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒම සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ…

කොරොනා වසංගතය අතරතුර හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සිරගත කර තැබීම  පිළිබදව, බරපතල සැකයක්..

ශ්‍රී ලංකාව මේ මොහොතේ අර්බුද තුනක් පසුකරමින් සිටියි. ඒ, කොරොනා නිසා මතුවී ඇති සෞඛ්‍ය  අර්බුදය, නියමිත කාලයට කලින් පාර්ලිමේන්තුව විසුරවූ නමුත් මැතිවරණය අදාල කාලයේදී පැවැත්වීමට නොහැකි වූ නිසා ඇතිවී තිබෙන දේශපාලන සහ ව්‍යවස්ථාමය අර්බුදය සහ මාස දෙකකට වැඩි කාලයක් රට වැසීම නිසා ඇතිව තිබෙන ආර්ථික අර්බුදයි.

මේ අර්බුදවලට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැවොම එක්ව රටක් ලෙස මුුහුණ දිය යුතු වුවත් ආණ්ඩුව හැසිරෙන්නේ යුධ සහ මැතිවරණ මානසිකත්වයකින්යුතුව බව නම් ඉතා පැහැදිලිය. මේ අර්බුදයේ බරපතල කම වටහා ගත් විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය අප්‍රෙල් 27 වැනිදා වගකීමෙන් සහෝගය ලබා දීමේ යොජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කලත් ආණ්ඩුව ඒ සදහා සාධනීය ප්‍රතිචාරයක් දක්වනු දක්නට නොලැබුණි.

අර්බුදය එක්ව ජයගත යුතු බව ආණ්ඩුවේ ප්‍රචාරක ගීතවල පමණක් තිබුනාට වැඩක් නැත. ඒ සදහා සියලු දෙනා එක් කරගන්නා ක්‍රියාපටිපාටියක් සැදිය යුත්තේ ආණ්ඩුවයි. එහෙත් විපක්ෂයේ දේශපාලන පක්ෂ, තමන්ට දේශපාලනික වශයෙන් සහය දැක්වූ නොදැක්වූ ජන කණ්ඩායම් සහ මතවාදයන් දරණ පිරිස් එකතු කර ගන්නවා  වෙනුවට ආණ්ඩුව සිදු කලේ තව තවත් ඔවුන්ගේ දුරස්ත වීමයි.  එසේ තනිව කටයුතු කිරීමටත් වඩා බියජනක තත්වය නම් ආණ්ඩුව සිය ප්‍රතිවාදීන් ක්‍රමයෙන් මර්දනය කිරීමට කටයුතු කිරිමයි.  ඒ සදහා යොදා ගන්නේ අත්අඩංගුවට ගැනීමය. සමාජ මාධ්‍ය මගින් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විවේචනය කිරීම් සිදුකල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පසුගිය අප්‍රෙල් මාසයේ සිට ඇරඹුන මර්දනකාරී අත්අඩංගුවට  ගැනීම් දැන් විපක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා වර්ධනය වී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුව ගැනීම මෙහි උච්චතම අවස්ථාවයි. මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම යන කාරණය මත රාජිත සේනාරත්න අත්අඩංගුව ගැනීම හුදු නීතීයේ ක්‍රියාපටිපාටිය අනුව ම සිදු වූ දෙයකට වඩා දේශපාලන අවශ්‍යතාවය මත සිදුවූවක් බව අපගේ වටහා ගැනීමයි.

මේ මොහොතට අදාලව රාජිත සේනාරත්න යනු හිටපු තවත් ඒක් ඇමැතිවරයෙකු පමණක් නොවේ,

01

ඔහු පසුගිය වසර පහක කාලය තුළ කටයුතු කලේ සෞඛය ඇමැතිවරයා වශයෙනි. ඒ නිසා මේ වන විට සෞඛ්‍ය සේවයට අදාල මෑතාලීන වර්ධනයන් සහ අඩුපාඩු පිළිබද යථාවත්ම දැනුම සහිත දේශපාලන නායකයා වන්නේ ඔහුය. එය මේ මොහොතට ඉතා අත්‍යාවශ්‍ය දැනුමකි.

02

ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කල බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඔහුගේ සබදතාවය ඉතා ඉහළ මට්ටමක පවතී. මේ ගොලීය ව්‍යසනයේදී ලංකාවට අදාලව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපකාර සහ මගපෙන්වීම් වලට ඔහුගේ එම සම්බන්ධතාවය සහ අත්දැකීම් දායකත්වය ගැනීමට හැකියාව ආණ්ඩුවට තිබුණි.

03

ඔහු සෑම විටම වෙනත් ජනවර්ග වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අයෙක් බැවින් එම ජනකණ්ඩායම් වල ගෞරුත්වය ඔහුට හිමිය. විශේෂයෙන්ම ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පිටු පාමින් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීමට ගත් තීන්දුවත් සමග මුස්ලිම් ජනතාව වසංගත නිවරාණ ක්‍රියාවලියෙන් දුරස්ත කෙරිනි. එසේ දුරස්තවන ජන කණ්ඩායම් කෙරෙහි මැදිහත් වීමට රාජිත සේනාරත්න වැනි දේශපාලන නායකයෙකුගේ සේවය අවශ්‍ය වේ.

04

මේවැනි ව්‍යසනකාරී අවස්ථාවක ආණ්ඩුව මෙන්ම ශක්තිමත් විපක්ෂයක්ද පැවැතිය යුතුය. රාජිත සේනාරත්න සෑම විටම ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් සහ විපක්ෂයේ සමගිය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන නායකයෙකි.

ඉහත හේතුන් නිසා පවතින සොඛ්‍ය සහ දේශපාලන වාතාවරණය හමුවේ රාජිත සේනාරත්න වැනි අයෙකු රටේ දේශපාලන සිතියමෙන් ඉවත් කර තැබීම අතිශය සැක සහිතය. කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව දරණ උත්සාහයත් සමග කොවිඩ් 19 සම්බන්දයෙන් ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන පිිලිබද සමාජයේ ඇතැමුන් සැක පල කරති. එවන් මොහොතක සෞඛ්‍ය අංශ සමග සෘජු සබධතා පවතින හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාව සිරගත කර තැබීම එම සැකය තවත් වර්ධනය කරන්නකි.  එසේම,  රටේ ව්‍යවස්ථාදායකය අක්‍රීය කර ඇති මේ මොහෝතේ ඔහු පිළිබදව පාර්ර්ලිමෙන්තුවට ක්‍රියා කළ නොහැකි අතර පවතින තත්වය හමුවේ අධිකරණ පද්ධතියට පවතින සිමා සහිත ප්‍රවේශය අසාධාරණයට ලක්වූ අයෙකුට අධිකරණය මගින් ක්ෂණික සහයනයක් අපේකෂා කළ නොහැක. ඒ නිසා මේ මොහොතේ ඔහු ආණ්ඩුවේ නිරෝධායන නීතිවලට යටත්ව අනිවාර්ය නිරෝධායනකට ලක් වෙමින් සිටියි.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව ලෙස අප,  ආණ්ඩුමේ මෙම ක්‍රියාකාරීත්වය කෙරෙහි මහජන අවධානය යොමු කළ යුතු බවට තීරණය කලේ, ආණ්ඩුව රටේ ඇතිවී තිබෙන ප්‍රශ්න විසදීම වෙනුවට පවතින තත්වයට මුවා වී ප්‍රශ්න පිලිබද හඩක් නැගිය හැකි  විපක්ෂයේ දේශපාලන නායකයන් ඉලක්ක කරමින් සිදුකරන මේ  ක්‍රියාව දැන් සිටම නවත්වා ගැනීමට නොහැකි වුවහොත් රට මැතිවරණයට තවත් ආසන්න වීමෙදී මෙම ප්‍රවණතාවය තවත් භයානක අයුරින් වර්ධනය වීමට ඉඩ ඇති නිසාය.

 

කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,

ජේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය ඒච්.ඩබ්. සිරිල්, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව

Social Sharing
නවතම