ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ නඩුවේ ප්‍රධාන සැකකරුවෙක් ය. ඔහු ජූලි 10 දා කොළඹ මහාධිකරණ පරීශ්‍රයට එන්නේ එම නඩු විභාගය සඳහා සහභාගී වීමට ය. එම නඩුවට කළින් තවත් වැදගත් නඩු විභාගයක් පැවතී ඇත. ඒ මවුබිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් ප්‍රමුඛ විත්තිකරුවන් 4 දෙනෙකුට විරුද්ධව පැවති ‘රාඩා’ නඩු විභාගයයි. මවුබිම මාධ්‍යවේදියාට බලහත්කාරය පා ඔහුව පොලිස් පෝස්ට් එක තුළට ඇදගෙන ගොස් කැමරාවේ මතකයද ගලවා ගත් එම සිදුවීම නිසා කුප්‍රකට ‘රාඩා’ නඩුවට මොකද වුණේ යන්නට මාධ්‍යයේ එතරම් ප්‍රසිද්ධියක් නොලැබිණි. ‘එල් ටී ටී ඊ’ සංවිධානයට මුදල් දීමක් පිළිබඳව වූ මේ නඩුකරයට උනේ කුමක්ද?

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යන චෝදනා එල්ලකොට මහාධිකරණයේ නඩු පවරා තිබුණේ ටිරාන් අලස්, හිටපු කොටි සාමාජික එමිල් කාන්තන්, ඇතුලු හතර දෙනෙකුට එරෙහිවය. මෙම නඩුව පසුගිය ජූලි 10 වෙනිදා විභාගයට ගත් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ ‘මෙම නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය නැති බවය’. ඒ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් රාඩා ආයතනයේ එවක විධායකය නිළධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්‍ර කාන්තී ප්‍රනාන්දු මහත්මියගෙන් සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුවය. දිලීප පීරිස්ගේ මෙම ප්‍රකාශයෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදහස් කරන ලෙසය. එමෙන්ම ඔවුන්ට පනවා තිබුණ ගුවන් ගමන් තහනමද ඉවත් කරනු ලැබීය. හිටපු කොටි සංවිධාන සමාජික දැනට යුරෝපයේ සැඟව සිටිනවා යැයි කියන එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීම සඳහා පනවා  තිබූ ඉන්ටපෝල් වරෙන්තුව ද මෙහිදී විනිසුරුවරයා විසින් ආපසු කැඳවන ලදී.

රාඩා යනු කුමක්ද?
මෙහි දිගු නම ‘උතුරු නැගෙනහිර ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය’ යන්නයි. 2005/11/28 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ විධානයක් අනුව මෙම ආයතනය පිහිටුවා එහි සභාපතිවරයා ලෙස ටිරාන් අලස් මහතා පත්කර ඇත. මේ ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ සේ දැක්වෙන්නේ සුනාමියෙන් විනාශවූ උතුරු නැගෙනහිර නිවාස නැවත ගොඩනැගීමය. එහෙත් මේ අරමුණ බොරුවක්ය. ඇත්තටම මේ ආයතනය අරඹන්නේ කොටි සංවිධානයට මුදල් ආධාර ලබාදීම සදහාය. ඒ විදිමත් ක‍්‍රමයකට රාජ්‍ය අරමුදල් උතුරට පොම්පකර අතපිස දමාගැනීම සදහා ය. දැන් හෙළිවී තිබෙන්නේ නිවාස 1200ක් හදනබව කීවත් ඒ සදහා රජය මුදල් වෙන්කර මුදා හැරියත් කිසිදු නිවසක් හදා නැති බවය. ඒ අනුව ඒ මුදල්වලින් කොටසක් කොටි සංවිධානයට ද තවත් කොටසක් ටිරාන් අලස් මහතාගේ සාක්කුවටද ගොස් ගොස් ඇති බවට සාධාරණ සැකයක් තිබිණි.

ආරම්භය

ටිරාන් අලස් සහ නැසීගිය හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන හිතවතුන්ය. 2002-2004 ආණ්ඩුවේ පුනුරුත්ථාපනය පිළිබදව කටයුතු කළ අමාත්‍යවරයා ඔහුය. එවක සටන්විරාමය ක‍්‍රියාත්මක අවධියේ කොටි බුද්ධි අංශයේ සිටි එමිල් කාන්තන් නැමැත්තා දොස්තර ජයලත් ජයවර්ධන ළග වැඩකර ඇත. ඒ බව අදාළ අමාත්‍යවරයාම ත‍්‍රස්තවිමර්ෂණ අංශයට ප‍්‍රකාශයක් ලෙස පසුකාලයේ ලබාදී ඇත. මේ එමිල් කාන්තන් දොස්තර ජයලත් ජයවර්ධන මහතා විසින් ටිරාන් අලස් මහතාට හඳුන්වා දෙන්නේ ඔහුගේ වියාපාරික කටයුතු උතුරේ දියත් කිරීම සදහා කොටි සංවිධානය සමග අවශ්‍ය සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම සදහා ය. ඒ ටිරාන් අලස් මහතාගේ සී බී ඊ නම් 1988 දී සේවකයින් 10 දෙනෙකුගෙන් පමණ ආරම්භ කළ සන්නිවේදන උපකරණ වෙළදාමේ නියුක්ත වූ සමාගම ඩයලොග් ආයතනය සමග එකතුවී සන්නිවේදන අංශයේ වියාපාරික කටයුතු උතුරේ වියාප්ත කරලීම සදහා ය. මෙලෙස ගොඩනැගෙන එමිල් ටිරාන් සම්බන්ධතාවය දිගටම වැඩි වර්ධනය වනාතර 2002- 2004 ආණ්ඩුව බිදවැටෙන අතර ඊළග ආණ්ඩුවේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂය. සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා වන්නේ මංගල සමරවීරය. මංගල සමරවීර සහ ටිරාන් අලස් අතර තිබුණු බැදියාව මත ඔහු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස පත්කරන්නේය. මෙලෙස කාලය ගතවෙන අතර 2005 ජනපතිවරණය පැමිණෙයි. එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීමේ ඡන්ද වියාපාරයේ කැපීපෙනෙන චරිතයක් වූ මංගල සමරවීර විසින් ටිරාන් අලස් මහතා මැතිවරණ ප‍්‍රචාරණ කමිටුවේ සාමාජිකයෙක් ලෙස නම් කරන්නේය. එම කමිටුව රැස්වී එක අවස්ථාවක කොටි සංවිධානය සමග සම්බන්ධයක් සාදාගැනීමට කෙනෙකු සිටින්නේදැයි මහින්ද රාජපක්ෂ විසින් ටිරාන් අලස් ගෙන් අසා ඇත. එහිදී ඔහු එමිල් කාන්තන් පිළිබදව මහින්ද රාජපක්ෂ දැනුවත් කර ඇති අතර එහිදී එමිල් කාන්තන් බැසිල් රාජපක්ෂට හදුන්වා දෙන්න යැයි මහින්ද රාජපක්ෂ ටිරාන්ට පවසා ඇත. ඒ අනුව ටිරාන් එමිල් කාන්තන් සහ බැසිල් රාජපක්ෂ එකදිගට බොරැල්ලේ ටිරාන්ගේ වි්‍යාපාරික ස්ථානයේදී මුණගැසෙනු බව  ටිරාන් අලස් ම පසු අවස්ථා කිහිපයකදීම මාධ්‍යට පවසා ඇත.

මෙලෙස කොටි සංවිධානය සහ එවක ආණ්ඩුව අතර සම්බන්ධය වැඩි වර්ධනය වනාතර එහිදී එවක ආණ්ඩුවේ ප්‍රබලයින්, එමිල් කාන්තන් හරහා කොටි සංවිධානයට යෝජනා කරන්නේ හොද හිත සහ අන්‍යොන්‍ය බැදීම තවත් වර්ධනය කරගන්නට, අවශ්‍යතා තිබේනම් ඉල්ලන්න කියාය. එහිදී කොටි සංවිධානය බෝට්ටු ලබාගැනීමට මිලියන 180ක මුදලක් ඉල්ලා ඇත. එම ඉල්ලීමට එකහෙළාම කැමැත්ත පලකරන බැසිල් රාජපක්ෂ පසු අවස්ථාවකදී එම මුදල ඇමරිකානු ඩොලර් සහ ශ‍්‍රී ලංකා රුපියල් වලින් ට‍්‍රැවලින් බෑග් කිහිපයක දමා ටිරාන් අලස්ගේ ස්ථානයේදී ඔහු ඉදිරිපිටදීම එමිල් කාන්තන් හට ලබා දී ඇත.

2010/01/22 වැනි දින ටිරාන් අලස් ගේ බොරැල්ල නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ එම බෝම්බය පිපිරී ගිය ස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ටිරාන් අලස් මහතා බැසිල් රාජපක්ෂ විසින් එමිල් කාන්තන් හට මෙම මුදල් දුන් සිද්ධිය ප‍්‍රසිද්ධියේ පවසා ඇත. ඊට ප‍්‍රථම ඔහු මේ පිළිබදව ත‍්‍රස්තවිමර්ෂණ ඒකකයටද ප‍්‍රකාශයක් ලබා දී ඇත. ඉන්පසුව කොටි සංවිධානය දිගින් දිගටම මුදල් ඉල්ලා ඇති අතර එවක ආණ්ඩු පාර්ශවය කොටි සංවිධානයෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලා ඇත. ඒ 2005 ඡන්දය වර්ජනය කරන ලෙස උතුරු නැගෙනහිර ප‍්‍රජාවට නියෝගයක් ලබා දෙන ලෙස සහ රජයේ ප්‍රධානීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට  කිසිදු ප‍්‍රහාරයක් එල්ල නොකරන ලෙසය. කොටි සංවිධානය එහිදී මේ ඉල්ලීම් දෙකටම එකගවී ඇති අතර එහි ප‍්‍රතිපලය ලෙස උතුරේ මිනිසුන් ඡන්දය වර්ජනය කරන්නෝය. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනපති පදවියට පත්වෙන අතර ඉන්පසුව දිගටම කොටි සංවිධානයට මුදල් ආධාර ලබාදීමට මෙම ආයතනය පිහිටුවා එහි ප‍්‍රධානියා ලෙස ටිරාන් අලස් පත්කරන්නේය. රාඩා ආයතනය ඇරඹීමේ ඉතිහාස කතාව මේකය.

රාඩා ගණුදෙනු

ඉහත විස්තර කළ අයුරින් ඇරඹි රාඩා ආයතනයට 2006 අගෝස්තු 2 වැනි දින කැබිනට් පත‍්‍රිකාවක් මගින් රුපියල් 757,166,000ක මුදලක් වෙන්කරන්නේ උතුරු නැගෙනහිර ග‍්‍රාමසේවක වසම් 42ක සුනාමියෙන් විනාශ වූ නිවාස ගොඩනැගීම සදහා නිවාස වියාපෘතියක් ඇරඹීමට ය. ඒ මේ මුදලින් නිවාස 1200ක් ගොඩනැගී ම සදහා ය. gs builders and consultants of vavuniva යන ආයතනය මෙම නිවාස වියපෘතියේ උපදේශන සේවාව සදහා තෝරාගත් බවද නොම්බර 437A , 3 පටුමග, හිරුනව්කුලම් තාන්ඩිකුලම් වව්නියා යන ලිපිනයේ බී ඇන්ඞ් කේ හෝල්ඩින්ග් ස් යන ආයතනය ත‍්‍රිකුණාමලයේ නිවාස 400ක් සෑදීම සදහා ද තවත් නිවාස 400ක් මඩකළපුවේ සෑදීම සදහා 113/1, මීල් පාර, උකුලම්කුලම්, වව්නියා යන ලිපිනයේ ලියාපදිංචි එවරස්ට් සිවිල් ඉන්ජිනේරින් සර්විස් සමාගමද තෝරාගෙන ඇති බව එම කැබිනට් පත‍්‍රිකාවේ සදහන් කර ඇත.
දැන් හෙළිවී තිබෙන්නේ මේ ආයතන තුනම මේ ගනුදෙනු සදහාම ගොඩනැගු වියාජ සමාගම් බවය. ඒ අනුව මේ මුදල් වෙන්කිරීමේ ඇත්ත උවමනාව අන්යමක් නොව කොටි සංවිධානයට මුදල් ලබා දීමය. එය සක්සුදක් සේ පැහැදිලිය. මෙහිදී චෙක්පත් 9යක් මගින් රුපියල් මිලියන 124ක මුදලක් ආණ්ඩුව ගෙවා ඇත.
ඉන් චෙක්පත් දෙකකට ටිරාන් අලස් මහතා අත්සන් තබා ඇති බවද දැනගන්නට ලැබේ. මෙහිදී මෙම ව්‍යාපෘතිය ටිරාන් අලස් එමිල් කාන්තන් සහ  වික‍්‍රමසුරිය යන අය රාඩා ආයතනය මගින් කරගෙන ගොස් ඇත. ඉන්පසුව මෙලෙස කොටි සංවිධානයට යවන්නට රාඩා ආයතනයට ලබා දුන් මුදල් නිසි පරිදි කොටි සංවිධානයට ලබා දී නැත. ඒ අනුව කොටි සංවිධානය සහ එවක ආණ්ඩු ප්‍රධානීන්  අතර තිබූ මූලික එකගතාවය, ආණ්ඩු ප්‍රධානීන්  බිද දමා ඇතැයි කොටි සංවිධානය සැකකර ඇත. එවක හමුදාපති සරත් ෆොන්සේකාට ප‍්‍රහාරයක් එල්ල කිරීම, ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ හට පිත්තල හන්දියේදී ප‍්‍රහාරයක් එල්ල කිරීම, මාවිලාරු වසාදැමීම, අනතුරුව යුද්ධයද මෙම එකගතාවය බිඳවැටීම නිසා හටගත් තත්ත්වයන් බව සිතීම අසාධාරණ නැත.
රාඩා නඩුව
එම ආණ්ඩුව  2015දී අහෝසි වීමත් සමග රාඩා ආයතනය නමින් සිදුවූ මේ ගනුදෙනු පිළිබඳව සොයා බලන්න යැයි ‘දුෂණ විරෝධී පෙරමුණ’ පොලිස්පතිවරයාට පැමිණිලි කරන්නේය. ඒ 2015 පෙබරවාරි 25 වැනි දිනය. ඉන් අනතුරුව පොලිසිය මේ පිළිබදව පරීක්ෂණ කරන අතර එහි ප‍්‍රතිඵලය ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ටිරාන් අලස්, එමිල් කාන්තන්, ඇතුළු හතර දෙනෙකුට  මිලියන 124ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබිණි. නීතිපති දෙපාර්ථමේන්තුව ගොනු කළ එම නඩුව එම දෙපාර්තමේන්තුව විසින්ම වෙන ආණ්ඩුවක් යටතේ  ආපසු හරවා ඇත. මේ ලංකාවේ නීතියේ ස්වභාවය යි. සැමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වන ආකාරයයි. මෙම ගනුදෙනු ගැන ටිරාන් අලස් ම තොරතුරු හෙළි කර ඇත. ඊට අමතරව මංගල සමරවීර, චම්පික රණවක, ශ්‍රීපති සූරියආරච්චි වැනි දේශපාලකයින් ද කරුණු හෙළිකර ඇත.
එහෙත් පසුගිය 10 වැනිදා අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ කරුණුවලින් හෙළිවන්නේ ටිරාන් අලස් එමිල් කාන්තන් ඇතුළු පිරිස සියඹලා ගෙනත් ම නැති බවය.
Social Sharing
නවතම විශේෂාංග