සාලි නිදහස්..!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත.

පසුගිය මාර්තු මස 09 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි ප්‍රකාශ කර තිබුණේ ‘අපේ නීතිය අපිට, ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට, ඒවා හරි වැරදි බලන්නේ අපි, කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක්, රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ ‘හදිසියයි’ හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ’. මෙම ප්‍රකාශය නිසා ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් ඇතිවෙන බව ප්‍රකාශ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ පසුගිය මාර්තු 16 දින අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබිණි.

ඉහත ප්‍රකාශය මත අසාද් සාලි අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළත් පසු අවස්ථාවකදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේ මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසාත් සාලි මහතාට අදාලව පරීක්ෂණ සිදුවෙන බවය. මෙලෙස එක එක කරුණු ගෙනහැර දක්වමින් මාස 08ක් වැනි කාලයක් අසාද් සාලි මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත දැන් මෙරට ක්‍රියාත්මක වන්නේ දේශපාලන පළිගැනීම් සඳහා සහ විරුද්ධ මත මර්දනය කිරීම සඳහා ය. අසාද් සාලිට ප්‍රථම ලේඛක සක්තික ශත්කුමාර, මුස්ලිම් කවියෙක් වෙන අන්හාෆ් ජාසිම්,  ද මෙම පනත යටතේම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට පොලීසිය කටයුතු කළේය.

Social Sharing
නවතම