රාජිත ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වී ඇත..!

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රාජිත දිසානායක කලාකරුවා අද ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලා  අස්වී ගෙදර ගිය පුවත සමාජ මාධ්‍යයෙන් දැක ගතිමි. ගුවන් විදුලියේ පරිපාලනය විසින් දිගින් දිගටම කෙරෙන කෙනෙහිලිකම් තව දුරටත් දරාගැනීමට නොහැකිව ඉල්ලා අස්වූ බව  ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලියේ පරිපාලනය දරණ ඇතැමුන් නම් මැදමුලනේ පොල්වතු වලින් වැටෙන පොල්පිත්තකින් වුව කපා ගත හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේට මතක් කර දීමට මා කැමතිය. එහෙත් රාජිත දිසානායක වැනි ගුවන් විදුලියට සම්පතක් වූ ඉදිරිගාමී කලාකරුවකු ගුවන් විදුලියට නිර්මාණය කරගැනීම පහසු නොවේ. ගුවන් විදුලි පාලකයන් මේ තරම් අවරසිකයන් වී සිටීම ගැන මේ ආයතනයේ දවසක් හෝ වැඩ කර තිබෙන මට ඇත්තේ විශාල ලැජ්ජාවකි.

මේ පාලකයන්ට අවශ්‍යව ඇත්තේ යකඩ කට ඉදිරියට පැමිණ රටම ගඳ ගස්සවම්න් හැකර කතා කියන වාචාලයින් පමණක් බව කීමට තවත් සාක්ෂි කුමටද?

රාජිත ගුවන් විදුලියට බැඳුනේ නිෂ්පාදකවරයකු ලෙසය. ඒ සඳහා ඔහුට ජනමාධ්‍ය විෂයද සමග හැදෑරූ ශාස්ත්‍රවේදී උපාධියක සුදුසුකම තිබුණි. රාජිත ගුවන් විදුලියෙන් අස්ව යන්නේද සාමාන්‍ය නිෂ්පාදකවරයකු වශයෙන්මය. ඔහුට ගුවන් විදුලියේ ඉහලම පුටුව පවා ලබා දීමට එක් කලකදී යෝජනාවක් තිබූ බව තනතුරු වලට එකිනෙකාගේ බෙලිකපා ගන්නා ගුවන් විදුලියේ බොහෝ දෙනා නොදනිති.

රාජිත මගේද කිට්ටු මිතුරෙකිි. එසේම ගුවන් විදුලියේ පාලකයන් බවට පත් වූ තවත් බොහෝ අයගේද මිතුරෙකි. එහෙත් ඔහු කිසි දිනෙක ඒ මිත්‍රකම් පුද්ගලික වුවමනාවන් වෙනුවෙන් යොදා ගත්තේ නැත. මා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිටි අවධියේද, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වරයාව සිටි අවධියේද, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාය සිටි අවධියේද, කිසිදු පුද්ගලික ඉල්ලීමක් වෙනුවෙන් ඔහු මාගේ කාමරයට පැමිණියේ නැත. මට පමණක් නොව සුදර්ශන ගුණවර්ධන වැනි හිටපු සභාපතිවරුන්ටද  රාජිත ගැන පැවසිය හැක්කේ එම කතාවම බව මට ඉඳුරා පැවසිය හැකිය.

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට අවශ්‍යව තිබුනේ රාජිතට ගුවන් විදුලියේ ඉහලම පුටුව ලබා දීමටය.  ඒ සාකච්ඡාව අමාත්‍යංයේ සිදුවන කාලයේ මම මංගලගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කළෙමි. එහෙත් මංගල ඒ ගැන මට කිසිවක් කීවේ නැත. එාසේම රාජිත ඒ කරුණ ගැන මංගල සමරවීර මහතා හමුවීම ප්‍රතික්ෂේප කළ බව මා දැනගත්තේද පසුවය. මේ ගැන සියලු විස්තර රුවන් ප්‍රදිනැන්දිස් සතුව ඇත. බොහෝ දෙනා තනතුරු ලබා ගැනීමට බලධාරීන් පසුපස වැඳ වැටෙද්දී  රාජිත සාමාන්‍ය නිෂ්පාදකවරයකු ලෙසම සිටියේය. ඔහු සතුටු වූයේ තම නිර්මාණ ජීවිතය තීව්‍ර කරගැනීමෙනි.

රාජිත නිෂ්පාදනය කළ වැඩ සටහන් රාශියක් ගුවන්විදුලියේ ඇත. කලාව, සාහිත්‍ය, නාට්‍ය, ජනශ්‍රැතිය, සෞන්දර්යවේදය, දර්ශනය, දේශපාලනය ආදී විෂයයන් ගණනාවක් ඇසුරින් නිර්මාණය වූ එම වැඩ සටහන් සඳහා රටේ හොඳම සම්පත්දායකයන්ගේ බුද්ධිමය දායකත්වය ගුවන්විදුලියට ලබා දීමට රාජිත සමත් විය. ඒ සම්භාවනීය සුධීමතුන් සමග කරට කර හිඳිම්න් රාජිතද තම දැණුමින් හා පිරිපුන් රසිකත්වයෙන් ඒ වැඩසටහන් පෝෂණය කළේය. ඒවා සංස්කෘතික මිනිසකු නිර්මාණය කිරීමට අවශ්‍ය මහගු සන්නිවේදන සම්පත් ලෙස ඉතිහාසයට එක්වෙමින් රාජිතට යුක්තිය ඉටුකරනු ඇත.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති මීට වසර තුනකට පෙර අප රටේ සංස්කෘතික කතිකාවට ඉතා වැදගත් පොතක් සිංහලයට පරිවර්තනය කර දුන්නේය. ඒ ප්‍රකට විද්වතකු හා දාර්ශනිකයකු වූ මහාචාර්ය අර්වින් එඩ්මන් ලියූ කලාව හා මිනිසා පිළිබඳ පොතයි. අමරකීර්ති මේ පොත  පිළිගන්වා තිබෙන්නේ ‘ තමා තෝරාගත් කලාවෙහි අඛණ්ඩව යෙදෙමින් සිංහල නාට්‍ය කලාව පෝෂණය කරමින් කලාව සහ මිනිසා අතර සම්බන්ධය රටට සිහිකරන රාජිත දිසානායකට’ ය.

රාජිතගේ මාධ්‍යය වන්නේ වේදිකා නාට්‍ය කලාවයි. එය මේ දිනවල හැකිලී ඇත. එහෙත් එය නැවත රාජිතලා විසින්ම විකසිත කරනා දිනයක් එළඹෙන බව රාජිතට ගෙදර යන්නට වැඩ සැළැස් වූ ගුවන් විදුලි පාලකයන් සිහියේ තබාගතහොත් හොඳය.

රාජිත මාවතක් තෝරාගෙන ඇත. ඔහුගේම නාට්‍යයක වචනයෙන් කියනවා නම් ‘ආපසු හැරෙන්න බැරි’ මාවතකි එය. රාජිත ඉදිරියටම යන්න.

කරු පරණවිතාන

Social Sharing
නවතම විශේෂාංග