ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න

හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න, ලස්සන තරුණියක් කසාද බඳින්න, ඔය වගේ සාමාන්‍ය හීන ඕනෑම තරුණයෙක් ට තියෙනවා. සමහරුන්ට තියෙනවා හීනයක් නාසා ආයතනයට යන්න. අභ්‍යාවකාශගාමියෙක් වෙන්න, රොකට් එකක් අභ්‍යාවකාශයට යවන්න, ඇමර්සන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෝ ටිකක් හමුවෙන්න යන්න, ආචාර්‍ය උපාධි දෙකක් කරන්න, මේවාට අපි කියනවා සුවිශේෂ හීන කියලා. මේ වර්ග දෙකේම හීන දකින තරුණයෝ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක ඉන්නවා. හැබැයි ඒ තාරුණ්‍යට ඒ හීන ඉටුකරගන්න ලැබෙන්නේ කලාතුරකින්. එහෙම බැලුවාම අපේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බාලයා, චිචී කියලා කවුරුත් ආදරෙන් කතාකරන රෝහිත රාජපක්ෂ තරුණයා ලෝකයේ වාසනාවන්තම තරුණයා වෙන්න ඇති!. ආයි ඒකේ කතා දෙකක් නෑ.

අපි රෝහිත රාජපක්ෂ මුලින්ම හඳුනා ගන්නේ දක්ෂ මෝටර් රථ ධාවකයෙක් විඳිහට. ඊළඟට ඔහු ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට ක්‍රීඩාකරන දක්ෂයෙක්. නාවික හමුදා රගර් කණ්ඩායමේ හිටිය නම ගිය රගර් ක්‍රීඩකයෙක්. ඊළඟට අපි ඔහු අඳුරගන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරුවෙක් විඳිහට. ඊළඟට ගණිතය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය උපාධියක් හිමිකරගන්න තරුණයෙක් විදිහට. අමතක වුණානේ ඊට කළින් අපිට ඔහු මුණගැහෙනවා ලංකාවේ පළවෙනි රොකට්ටුව අභ්‍යාවකාශයට ඇරපු පුද්ගලයා විදිහට. දැන් ඔහු ක්‍රිකට් කරළියේ පෙරළි කරන්න ලෑස්තිවෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මුලින්ම අපිට ආරංචි වුණේ ඔහු පානදුර ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකරනවා කියලා. ඒ සමග එළියට ආපු ඔහුගේ ක්‍රිකට් පින්තූර දැක්ක ගොඩක් අය කීවේ චිචී කුමාර් සංගක්කාරට වඩා දක්ෂයෙක් කියලා. දැන් එන ආරංචි කියන්නේ ඔහු ඉස්සරහට එන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී දඹුල්ල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න ලෑස්තියි කියලා. හැබැයි ඔහු නම් ඒ ආරංචිය ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ තමන් නිකං දඹුල්ල ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම ඇදගෙන පොටෝඑකක් ගැහුවා කියලා.

එන ආරංචි මොනවා වුණත් පාසල් යනකාලේ කිසිම ක්‍රීඩාවක් සම්බන්ධයෙන් අපේ ඇස නොගැටුන මේ පුතා, මෙච්චර කෙටි කාලයකින් තමන්ගේ හීන පස්සේ හඹාගෙන ගිහිං ඒවා ඉටුකරගැනීම ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම තාරුණ්‍යට ආදර්ශයක්. අපි හැවෝම චිචීලා වුණොත් මේ රට ගොඩදාන එක අමාරු නෑ..

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග