නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක්ද?

රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් බවට දෙමළ දේශපාලන නායකයෝ ප්‍රකාශ කරති.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ සිටින  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැද පෙරදිග හා ආසියානු ශාන්තිකර  රටවල දේශපාලනික කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලෙත් කියාරි සමග අඟහරුවාදා [23] පැවති විශේෂ හමුවකදීය.

එදිනම එජා නියෝජිතයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී ඇල් පීරිස්ද හමුවී තිබේ.

“බලය බෙදා හැරීමේ වැඩ පිළිවෙලට හානි වන අයුරින් එක් රටක් එක් නීතියක් නම් ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා, සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරමින් නව ව්‍යවස්ථාවක් හදන්න සුදානම් වෙනවා,“යැයි පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අවධාරණය කර සිටියේ රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගෙන යන මෙවැනි කටයුතු නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්විය යුතු බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය ඇමෙරිකානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් හමුවූ විට කියා සිටියේ එම සංවිධානය සමග සමීප කටයුතු කරන බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයට සමගාමීව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී අතිගරු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා (UNSG) සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ පසු විපරමක් වශයෙන් ශ්‍රී ලංකා රජය සිදු කළ ආරාධනාවකට අනුව සහකාර මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇත.

දෙමළ ජාතික සන්ධාන නායකයන එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හමුවේ වැඩි දුරටත් කියා ඇත්තේ දෙමළ ජන බහුතරය වෙසෙන ප්‍රදේශවල පිට පළාත්වලින් රැගෙන එන සිංහල ජනයා පදිංචි කරමින් ජන සංයුතිය වෙනස් කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් කරගෙන යන බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා වන ජීවී දෙපාර්තමේන්තු හා මහවැලි සංවර්ධන අධිකාරිය යොදා ගනිමින් දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම බලවත් ගැටළුවක් බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ගෙන එන වෙලාවේ දී දෙමළ ජනයා විශාල බලාපොරොත්තු ඇතිව සිටි බව පෙන්වා දුන් ඔව්හු කියා සිටියේ “අවසානයේදී දෙමළ ජනතාව රවටා ඇතැයි හැඟෙනවා,“ යනුවෙනි.

දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් ට අමතරව එම සන්ධානයට අයත්  තමිල් අරසු කච්චි  නායක මාවෙයි සේනාධිරාජා, තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ [TELO] නායක සෙල්වම් අඩෙයික්කලනාදන් හා තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ [PLOTE] නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් සාකච්ඡාවට එක් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හමුවූ අවස්ථාවේ ආණ්ඩුව පවසා ඇත්තේ සංහිඳියාව සම්බන්ධයෙන් ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බවයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන ඇතුළුව සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන දේශීය ක්‍රියාවලීන් හි මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා රජය තුළ ඇති කැපවීම යළිදු අවධාරණය කළේ ය,” යි විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Social Sharing
නවතම