සුව සේවයේ දෙදින වැඩ වර්ජනය ඇරඹේ!

වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන  නිහඩ පිළිවෙතට විරෝධය පා සුව සේවයේ වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව දෙදින වැඩ  වර්ජන ක්‍රියා මාර්ගයක්  ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ නොවැම්බර් මස 24 සහ 25 දෙනින වර්ජන ක්‍රියා මාර්ගය දියත් කරන අතර කඩිනමින් විසදුම් නොදුනහොත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක විය හැකි බවයි.

“මේක සංකේත ක්‍රියාමාර්ගයක් විතරයි. පැය 48කින් ඉවර කරනවා. එහෙම කරන්නේ ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරවන්න. නමුත් එහෙමත් නැගිටින්නේ නැත්නම්, අපි ඊළග පියවරට යනවා. ඒක බොහෝවිට ඉල්ලීම් ලබා දෙනතුරු අඛණ්ඩව ක්‍රියාතමක වන වර්ජනයක් විය හැකියි.”

දෙදින වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කළද  ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ  රෝහල්, කොවිඩ් රෝහල් වල රාජකාරී සිදු කරන බව දැනුම් දෙන රවී කුමුදේශ් අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් සදහන් කළේ  ත්‍රිකුණාමලය කින්නියා  රෝහලේ ඇතිවී  තිබෙන  හදිසි තත්වය නිසා  එම රෝහල සදහාද  කාර්යමණ්ඩලය  යෙදෙවු බවයි.

එමෙන්ම හදිසි අත්‍යාවශ්‍ය හා ජීවිත ආරක්ෂණ සේවා සපයන බවත් ඔහු සදහන් කළේය.

වෘත්තීය සමිති 15 ක් ඒකාබද්ධව සිදු කරන  වර්ජනය සදහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 50,000 ගේ පමණ  දායකත්වයක්  හිමිවන බවයි රවී කුමුදේශ් වැඩි දුරටත් පවසන්නේ.

එය  නවතාලීමට හැකියාව තිබු වර්ජනයක් උවත් උද්දච්ච ඇමැතිවරු සහ වැඩ බැරි නිලධාරීන් නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට ලක් වන බවටත් වෘත්තියවේදියා චෝදනා කළේය.

සෞඛ්‍ය ලේකම්වරයාගේ  ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් චෝදනා කළේය.

වැඩ වර්ජනයේ නිරත වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ මුලික ඉල්ලීම් හත පහත පරිදි වේ.

  1. වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය වහා නිවැරදි කිරීම,
  2. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සදහා පිළගත් වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම,
  3. වෛද්‍ය පරිපාලනයකට සීමා වී අති “සෞඛ්‍ය කළමනාකරණය” සෞඛ්‍ය පරිපාලන සේවාවක් බවට පත් කිරීම,
  4. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල DAT දීමනාව වහා ලබා දීම,
  5. අමතර දීමනා සදහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම,
  6. මාණ්ඩලික සේවා තත්වය, 5/7 උසස් වීම් වලට අදාල චක්‍රලේඛ වහා නිකුත් කිරීම,
  7. සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම.
Social Sharing
නවතම