හඳුනා නොගත් කොවිඩ් සම්භවයක්!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා ඇත්තේ  කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළ යමින් පවතින බව පැහැදිලිව පෙනෙන බවය.

එමෙන්ම මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද ඇය කියා ඇත.

“සම්භවයක් නොමැතිව සිද්ධීන් අනාවරණය වී තිබෙනවා, වෛරසය ප්‍රජාව තුළ කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්න එමගින් පෙන්නුම් කරනවා, එය භයානක තත්වයක්. මේ අනුව සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදීම යුගයේ අවශ්‍යතාවයක් වන අතර ජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි,” වෛද්‍ය ගල්හේන මහත්මිය අවධාරණය කර ඇත.

රෝග ලක්ෂණ නොපෙන්වා කොවිඩ් වැළඳුන දරුවන් මේ වන විට යළි විවිධ අසනීප වලට ගොදුරු වීමේ සම්භාවිතාවද ඉහළ යමින් ඇත.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික් රෝහලේද එවන් දරුවෙකු ප්‍රතිකාර ලබන බව වාර්තා වී ඇත. දිගින් දිගටම උණ ගතිය පැවතිම නිසා රෝහල්ගත කෙරුණු එම දරුවා සම්බන්ධයෙන් කළ පරික්ෂණ වලදි හෙළි වි ඇත්තේ මීට සති 06 කට කලින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවය. දැන් පෙන්නුම් කරමින් ඇත්තේ පසු කොවිඩ් තත්ත්වය බවද පැවසේ.

රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඇති අවස්ථාවක යළි කොවිඩ් වැඩිවුවහොත් නැවත කොවිඩ් රැල්ලක් මතු වීමේ අවදානමක් පවතින බව පහුගියදා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතාද ප්‍රකාශ කර තිබුණි.

මේ අතර, COVID-19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට COVID රෝග ලක්ෂණ ඇත්නම් හෝ ධනාත්මක රෝගියෙකුගේ පළමු සම්බන්ධතා බවට පත් වුවහොත් තම දරුවන් පාසල්වලට නොයවන ලෙසටය.

 

Social Sharing
නවතම