නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?

නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය කරන ඔහු පැවසුයේ විශාල බලාපොරොත්තුවක් සහිතව ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහා ආණ්ඩුව පත්කර ගැනීමට කටයුතු කළත් ඒ සියලු බලාපොරොත්තු මේ වනවිට කඩා වැටී ඇති බවය.

ඔහුගේ මෙම ප්‍රකාශය තහවුරු කෙරෙන ආරංචි දැන් දේශපාලන වේදිකාවේ නන් දෙසින් ඇසෙන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම ආණ්ඩුව ඇතුලේම මැති ඇමතිවරු ආණ්ඩුවේ ක්‍රියාවන් හෙලා දකින තැනට පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පහුගියදා පාර්ලිමේන්තුවේ දී පවසා තිබුණේ ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග බවය. ඔහු විවේචනය කර තිබුණේ යුද හමුදාපතිවරයාවය.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණේ අපේ කරමතින් ගිහින් ඒ අයට බඩපිණුම් ගහන්න දෙන්න බැරි බවය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් හෙට වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට සිය මැතිඇමතිවරුන් සුදානම් බව ඔහු පවසා තිබුණි.

මේ වන විට පොහොර, ගෑස්, කිරිපිටි, භූමිතෙල්, ඉන්ධන , අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම, භාණ්ඩ හිඟ වීම මත ජනතාව සිටින්නේ ආණ්ඩුව ගැන නොසතුටිනි. මේ සම්බන්ධයෙන් පහුගියදා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද පවසා තිබුණේ පොහොර ගැටලුව හේතුවෙන් රටේ ජනතාව දැඩිලෙස අසරණ වී සිටින බවත් මේ නිසා ජනතාව ආණ්ඩුව සමග නොසතුටින් සිටින බවත්, ඒ නිසා ආණ්ඩුව වෙනුවෙන් ගොවි ජනතාව භාවිතා කරන වචන එතරම් හොඳ වචන නොවන බවත්ය.

දේශපාලන වේදිකාවේ ආණ්ඩු විරෝධී කථා ඇසෙද්දි ආණ්ඩුවේ රාජ්‍ය ආයතන රැසක උසස් නිලධාරින් කිහිප දෙනෙකුද පහුගිය සමයේ ඉල්ලා අස් වුයේ ආණ්ඩුව සමඟ වැඩ කිරිමේ අපහසුතාව නිසා බව නොරහසකි.

මේ සියලු කරුණු වටා භ්‍රමණය වන්නේ එක් කරුණකි. ඒ් ආණ්ඩුවේ කඩා වැටීමය.

 

 

Social Sharing
නවතම