ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්‍රමිකතා රැසක් !

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැති බවද එසේම පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයිද ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වී ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2017, 2018 සහ 2019 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (17) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු  අනාවරණය වී ඇත.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශ ලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බඳවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී හෙලි වි ඇත. කැබිනට් අනුමැතියක් යටතේ ‍කොන්ත්‍රාත් පදනම මත මෙම බඳවා ගැනීම් සිදු කර ඇති බවත් ඉන්පසු, 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් මෙම පිරිස ස්ථිර කිරීමට ද කටයුතු කර ඇති බවත් මෙහිදි අනාවරණය වි ඇත.

ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් පිරිසක් මෙලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීමේදී බලවත් වරදක් සිදුවී ඇති බවත් මෙම තත්ත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූර්වාදර්ශයක් සපයන බවත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය. එබැවින් මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් විධිමත් විමර්ශනයක් සිදුකොට පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත් ඉඩම් අමාත්‍ය ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතාට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

1972  අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පිහිටවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල තත්ත්වයක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේවන විට ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාව සතු වන බවත් එම අගය නිවැරදිම අගය නොවන බවත් මෙහිදී අනාවරණය විය. ඉඩම් අත්පත් කරගැනීමේදී සහ විවිධ රජයන් යටතේ පවරාදීමේදී නිසියාකාරව මැනීමක් සිදුනොකිරීම එයට හේතුවී ඇති බව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක්  කොමිෂන් සභාව සතුවීම අත්‍යවශ්‍ය බැවින් ඉඩම් නිවැරදිව මැන තක්සේරු කිරීමත් ඒ පිළිබඳව නිශ්චිත පදනම් ලියවිල්ලක් සෑදීමත් අත්‍යවශ්‍ය  බව කමිටුව පෙන්වා දුන්නේය. නවීන ඩ්‍රෝන තාක්ෂණය වැනි දෑ ඒ සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරමින්  ඒ පිළිබඳ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කොට කෝප් කමිටුවට දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදි කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

නවීණ තාක්ෂණය භාවිතා කරමින් මෙම ඉඩම්වල දත්ත ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. මේ වන සිදුවන විවිධ අක්‍රමිකතා ඇතුළු ගැටලු රැසකට එමගින් විසදුම් ලැබෙන බව කමිටුව පෙන්වා දුන් අතර ඒ සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

පවරා ගැනීමට අදාළ ඇතැම් ගොනු අස්ථානගත වී ඇති බවද ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මෙවැනි ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේ පිළිබඳවද වහාම සොයාබැලීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. ජනතාවගෙන් පවරාගත් ඉඩම් වඩාත් ඵලදායිව යොදා ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන් අතට පත්වීම බරපතල ගැටලුවක් බැවින් මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම අතිශය වැදගත් බව කමිටුව අවධාරණය කළේය.

එසේම 1972 -1974 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත්  හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත  අක්කර 50 ක ප්‍රමාණය නිදහස් නොකළ ඉඩම් 260 ක් පවතින බවද මෙහිදී අනාවරණය විය.  මේ අනුව වසර 50ක් තුළ ප්‍රමාද වූ මෙම ක්‍රියාවලිය ‍ඓතිහාසික ගැටලුවක්ව ඇති බැවින් විශේෂ කවුළුවක් විවෘත කොට ඉදිරි මාස 06 තුළ  මෙම ප්‍රශ්නය විසදීම සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ  ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට කමිටුව උපදෙස් ලබා දුන්නේය.

කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද තක්සේරුව රු. මිලියන 676 ක් ලෙස සඳහන්ව තිබුණද එම අගය වර්තමානයේ  නිවැරදිවිය යුතු බවද  කමිටුව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය අනුව අක්කරයක වටිනාකම රු.500 ක් පමණ වන බැවින් මෙම ගැටලුව වහාම නිවැරදි කරගැනීම සඳහා මාස 06 ක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් සභාපතිවරයා ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

එසේම කොමිෂන් සභාවේ ඉඩම් බදු දුන් පසු එම ඉඩම් බැංකුවලට උකස් කොට ණය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපාරිකයන් තමා ලබා ගත් ඉඩම පවරා දීමේ කොන්දේසිවල සදහන් පරිදි කොමිෂන් සභාවේ අවසරය මත උකස් කොට ණය ලබා ගැනීමට ඇති හැකියාව මත මෙය සිදු වන බවත් මෙහිදී හෙළිවිය. එසේම ඇතැම් ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමෙන් පසු ඒවා ඵලදායි ලෙස යොදා ගන්නේ ද යන්නත් ගැටලුවක් බව සාකච්ඡා විය.

‍මෙහිදී අදහස් දක්වමින් කෝප් සභාපතිවරයා පැවසුවේ කොමිෂන් සභාව සතු වත්කම් ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන එය ඵලදායි ලෙස සංවිධානය කර ගැනීම පිළිබඳ ආකෘතියක් පිළියෙල කිරීම මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්යභාර්ය බවයි. මෙය ජාතික අවශ්‍යතාවක් බැවින්  මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවයන් එක්කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සඳහා ඉදිරියේදී කමිටුව නැවත කැඳවීමට අපේක්ෂා කරන බව ද මහාචාර්ය හේරත් මහතා පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර සහ මධුර විතානගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Social Sharing
නවතම