PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත සමාලෝචනයට ලක් කිරීමේ අවශ්‍යතාව පහුගිය කාලය පුරාම දේශපාලන මෙන්ම සිවිල් සමාජය ඇතුලු මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි.

හැත්තෑව දශකයේ අග භාගයේදී තාවකාලික පනත් ලෙස රැගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා උතුරු නැගෙනහිර පුද්ගලයින් රැසක් මෙන්ම, සුළු ජාතීන්ට විවිධ හිංසා පීඩා සිදු පහුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි.

ඒ නිසා ජාත්‍යන්තර මානව සංවිධානද මෙරටින් ඉල්ලා සිටියේ වහාම ත්‍රස්වාදය වැලැක්වීමේ පනත සංශෝධනය විය යුතු බවය. නැතිනම් අහෝසි කළ යුතු බවය.

කෙසේ නමුදු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පනත පිලිබද අවධානය යොමු කර එය සංශෝධනය කිරිමට පියවර ගෙන ඇත. එය පහුගියදා ජීනිවා හි පැවති ජාත්‍යන්තර මානව හිමිකම් සමුලුවේදීද ප්‍රකාශ විය.

ඒ අනුව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට ජනාධිපතිවරයා  විසින් කැබිනට්  අනු කමිටුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2021 ජූනි 24 දින නිලධාරි කමිටුවක් පත් කරන ලදි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී. කේ. මායාදුන්නේ, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් කුලතුංග, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර,  අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා ජයවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. .

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය නිලධාරී කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළාය.

මොවුන්ගේ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ   (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එහි සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් වාර්තාවේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

 

 

Social Sharing
නවතම