රජය නියම කොරෝනා රෝගීන් ගණන සඟවයි?

නිහඬව තිබූ කොවිඩ් 19 වෛරසය නැවත ඊයේ (09) දින සිට හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේය. ඒ පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 50 කට අධික පිරිසට වෛරසය ආසාදනය වීමත් සමඟිනි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හා නිලධාරීන් 605 කු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු මෙම පුද්ගලයින් පිරිස හඳුනාගෙන තිබේ.

ඊයේ සවස වන විට පුද්ගලයින් 250 කගේ පී. සී. ආර් පරික්ෂණ වාර්තා පොසිටිව් වී තිබු නමුත් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ 57 කු පමණක් හඳුනා ගත් බවය.

ඊයේ දින සියලුම මාධ්‍ය වාර්තා කරනු ලැබුයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57 කට කොරෝනා බවය. අද (10) දින විද්‍යුත් මාධ්‍ය වාර්තා කර සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් 196 කු කොරෝනා රෝගීන් හමු වූ බවය.

නමුත් සත්‍ය වශයෙන්ම ඊයේ (09) සවස වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 250 කට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. ඒ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ජයසිංහ මහතා විසින්ද තහවුරු කර තිබුණි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම පිරිසට පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවය.  අසාධ්‍ය මට්ටමේ සිටින අය අංගොඩ රෝහල වෙත මාරු කර යවන බවද ඔහු පවසයි.

නමුත් රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ රෝගීන් 57 කු පමණක් වාර්තා වු බවය. ඉතිරි රෝගීන් 196 නා අද (10) දින වාර්තා වූ රෝගීන් ලෙසට ගණන් බලා ඇත.

මීට පෙරද අනුරාධපුරයෙන් කොරෝනා රෝගීන් 18 ක් එකවර හමුවුවද රජය එය නිල වශයෙන් ප්‍රකාශ කළේ නැත. නමුත් අනුරාධපුරයේ මාධ්‍යවේදීන් එය වාර්තා කර තිබුණි.

ඒ අනුව රජය කොවිඩ් 19 අසාදිත වුවන්ගේ තොරතුරු සඟවන වෑයමක නිරත වන්නේද යන්න සැක මේ වනවිට මතු වෙමින් ඇත්තේය. බොහෝ දෙනා චෝදනා කර සිටින්නේ මැතිවරණය නිසා වාර්තා වන සැබෑ රෝගීන් ගණන ආණ්ඩුව සඟවන බවය.

මේ වාර්තා වන තොරතුරු දෙස බැලීමේදි ඇතැම් විට ඔවුන් නඟන චෝදනා සත්‍ය විය හැකි බව පෙනෙන්නට ඇත.

-ශානිකා-

Social Sharing
නවතම