කොළඹින් අනුරාධපුරයට මාරුකර යැවූ දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන බියක්!

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා පවසන්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි දේශපාලන සිරකරුවන් අතුරින් විසි දෙනකු ඔවුන්ගේ කැමැත්තකින් තොරව අනුරාධපුර බන්ධනාගාරය වෙත  පසු ගිය සති අන්තයේදී මාරු කර යවා ඇති බවයි.

එම දේශපාලන  සිරකරුවන් අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගියේ එම ප්‍රදේශයේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට සහ දෙමපියන්ට  බලා ගැනීමේ පහසුව වෙනුවෙන් බව බන්ධනාගාර නිලධාරීන්  පැවසුවත් අනුරාධපුර බන්ධනාගාරය හා ඒ  අවට ප්‍රදේශය දෙමළ දේශපාලන සිරකරුවන්ට   ආරක්ෂාකාරී ස්ථානයක් නොවන බවයි මාරිමුත්තු සතිවේල් පියතුමා පවසන්නේ.

“එවැනි පහසුකම් තිබුනත් අනුරාධපුර බන්ධනාගාරය සහ අනුරාධපුර බන්ධනාගාරය අවට ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් නෙමෙයි කියන එක පසුගිය කාල වලදී සහතික වී තිබෙනවා. ”

කොරෝනා රෝගියකු බවට සැක කොට අනුරාධපුර බන්ධනාගාරයේ  රැඳවියකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව බියට පත් එම බන්ධනාගාරයේ  රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා මාර්තු මාසයේදී  උද්ඝෝෂණයක් දියත් කළ මොහොතේ බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුමුවට පත්වූහ.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය දමා ඇති අවස්ථාවක රැඳවියන් විසින් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පවත්වන ලද උද්ඝෝෂණයට වෙඩි තැබූවේ “විරෝධතාව පාලනය කිරීමට” ගිය බන්ධනාගාර නිලධාරීන් බව පොලිසිය පසුව තහවුරු කර තිබුනි.

නිසි ලෙස ආරක්ෂාව සහතික නොමැති බන්ධනාගාරයක් වෙත තමන්ගේ කැමැත්තකින් තොරව රැගෙන යාම  දේශපාලන සිරකරුවන් විසින් ප්‍රශ්න කරනු ලබන බව මාරිමුත්තු සතිවේල් පියතුමා වැඩි දුරටත් සදහන් කරයි.

“ඒ විතරක් නෙමෙයි. දේශපාලන සිරකරුවන් ලෙස අපි එකට සිටීම පවතින රජයට ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ නිසා අපගේ දේශපාලනය විනාශ කිරීම සදහා අපි එකමුතුව සිටීම විනාශ කිරීම සදහා තමයි අපිව තැන් තැන් වලට දාන්න උත්සාහ දරන්නේ. ඒ විතරක් නෙමෙයි මැගසින් බන්ධනාගාරය තුළ පවා වෙනත් සිරකරුවන් එක්ක අපිව කලවමේ දාන්න උත්සාහ දරන්නේ අපගේ දේශපාලන මතය විනාශ කිරීමට පමණක් නෙමෙයි අපගේ ජීවිතයට පවා මේ නිසා තර්ජනයක් වෙන්න ඉඩ තියනවා කියලා ඔවුන් කියා සිටිනවා. ”

එවැනි තත්වයක් තුළ එම දේශපාලන සිරකරුවන් ආරක්ෂා කිරීමේ වගකීම පවතින රජයට ඇති බව පෙන්වා දෙන මාරිමුත්තු සතිවේල් පියතුමා වැඩි දුරටත් අවධාරණය කරන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමේ  වගකීම මැතිවරණ සමයේදී පමණක් නොව ඉදිරි කාලයේදීත් දෙමළ දේශපාලනඥයන් සතුව පවතින බවයි.

Social Sharing
නවතම