නමට පමණක් ජාතික පාසල් එපා – ලංකා ගුරු සංගමය

අධ්‍යාපන අමාත්‍යංශය මගින් නමට පමණක් ජාතික පාසල් ලෙස නම්කළ මහ විද්‍යාල වල බෝඩ් ලෑලී විවෘත කිරීම පැමිණිය හොත් ඊට විරෝධය පලකරමින් විදුහල් ඉදිරිපිට විරෝධතාවන් පවත්වනා බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව රට පුරාම විදුහල්වල සේවයේ නියුතු ගුරුවරුන් ඊට විරෝධතාවය පලකරනා බව සභාපතිවරයා පැවසුවේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පසුගිය සමයේ ජාතික පාසල් වශයෙන් නම් කළ පාසල් වලට කිසිදු පහසුකමක් ලබානොදි දේශපාලඥයන් බෝඩ් ලෑලි විවෘත කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව පවසමින්ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා.පසුගිය කාලය පුරා රටේ තිබෙන මහ විද්‍යාල රැසක් ජාතික පාසල් බවට පත්කෙරුණා.

එම පාසල් ජාතික පාසල් බවට පත්වීමත් සමග ඒවාට අවශ්‍ය පහසුකම් ලැබෙන්න ඕන.නමුත් ඒ කිසිදු පහසුකමක් ලබා නොදෙමින් පාසල් වල බෝඩ් ලෑලී විතරක් විවෘත කිරීමේ සූදානමක් තිබෙනාව කියලා ආරංචි ලැබිලා තියනවා.

ඒ සදහා ගුරුවරුන්ගේ සහය නොලැබෙන නිසා මේ පිරිස් දෙමාපියන් හා ආදි ශිෂ්‍ය සංගම් සම්බන්ධකර ගනිමින් ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමේ උත්සාහයක් සිදුකරනවා.

අපි බොහොම උවමනාවෙන් කියනවා මේ අවස්ථාවේ පාසල් වල බොරු උත්සව තියලා පාසල් පද්ධතිය අවුල් කරන්න එපා.මොකද මාස හයකට අධික කාලයක් කොවිඩ් 19 අවධානම නිසා පාසල් වැසිලා තිබිලා ඇරියා විතරයි පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගන්න හදනවා.

පාසල් වලට අවශ්‍ය සම්පත් ලබාදෙන්න.අනවශ්‍ය උත්සව අවශ්‍ය නැහැ.දරුවන්ගේ අධ්‍යපන මට්ටම ඉහළ දාන්නයි මේ අවස්ථාවේ අපි කටයුතු කරන්න ඕන.අනවශ්‍ය විදියට බොරුවට ජාතික පාසල් බෝඩ් ලෑලී විතරක් විවෘත කරන්න මන්ත්‍රීවරු ඇමතිවරු ආවොත් ඒ ප්‍රදේශයේ තියන සියළුම පාසල් වල ගුරුවරුන් එක්කාසු කරගෙන විරෝධතා තියලා ඊට විරෝධය පලකරනවා යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම