ගොවියන්ට නොදෙන රසායනික පොහොර වතු හිමියන්ට!

රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

“කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර තියෙනවා,” යයි  වැවිලි කර්මාන්ත ඇමැති රොමේෂ් පතිරණ  කැබිනට් තීරණ දැනුම් දෙමින්  පැවසීය.

ලංකාවේ කෘෂිකර්මාන්තය සියයට සීයක් කාබනික කිරීමට අවශ්‍ය බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසු ගිය මැයි මාසයේ දී කෘෂි රසායන සඳහා සම්පුර්ණයෙන්ම තහනමක් පැනවීය.

තේ වතු හිමියෝ  සහ අනෙකුත් ක්ෂේත්‍ර වල  ගොවීයෝ  ජනාධිපති  රාජපක්ෂගේ මෙම  ප්‍රතිපත්තිය නිසා ඇති වූයේ දැඩි කෝපයකි. කාබනික පොහොර හිඟකම සහ අස්වැන්න අඩු වීම හේතුවෙන් ආහාර හිඟයක් ඇති වන බවටත්, වතු කම්කරුවන්ගේ ආදායමට බලපෑමක් එල්ල බවත් ඔවුහු අනතුරු ඇඟවූහ.

මේ සම්බන්ධයෙන් වතු වැවිලිකරුවන්ගේ සංගමය මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ සමග කළ සාකච්ජාවේ ප්‍රතිපලයක් ලෙස තේ නිෂ්පාදනය කරන සමාගම් සඳහා රසායනික පොහොර ගෙන්වීමට කැබිනට් මණ්ඩල අවසරය හිමිව තිබේ.

“කාබනික පොහොර වී ගොවිතැනට සුදුසු වුවත් තේ වගාවට එය සාර්ථක වෙන්නේ නැහැ,” යි හිටපු අමාත්‍යවරයෙකු වූ වත්මන් ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මාධ්‍ය හමුවේ  වැවිලි  කර්මාන්ත ඇමැති  පතිරණ  කියා සිටියේ, වාර්ෂිකව ඩොලර් බිලියන 1.3 ක් වටිනා අපනයනයක් කරන  Ceylon Tea වගාකරුවන්ට මෙම රසායනික පොහොර ආනයන තහනම ආපසු හැරවීම  උපකාරයක් වන බවයි.

දේශීය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් කාබනික පොහොර දිවයිනේ නිපදවන තුරු රසායනික පොහොර ආනයනය අඛණ්ඩව සිදු කරන බවද ඔහු පැවසීය.

තේ වගා කරන සමාගම් වලට මෙවැනි සහනයක් ලැබුන ද, අනෙකුත් ගොවීන් පොහොර ලබා දෙන ලෙස ඉල්ලා රටපුරා උද්ඝෝෂණ වල  නිරත වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සහ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ අනුරූවලට ගිනි තබමින්ය.

ඉදිරි කන්නයේ වී වගා කිරීම සඳහා රසායනික පොහොර හා කෘමි නාශක ආදිය ලබා නොදුනහොත් බරපතල ආහාර අර්බුදයකට මුහුණ දිය හැකි බව ගොවි සංවිධාන නායකයෝ පෙන්වා දෙති.

Social Sharing
නවතම