මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!

ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ.

ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය බරපතළ ප්‍රශ්නයකි. ඉඩම් ප්‍රශ්නය එහි යටින් දිවෙන හේතුවයි. දුප්පත්කම අනෙක් හේතුවය. පොළොන්නරුවේ වැලිකන්ද, මුලතිව් වැලිඔය, මොනරාගල සියඹලාණ්ඩුව වැනි කලාප තුළ සිංහල ප්‍රජාව අතර මේ විවාහ ක්‍රමය සුළභය.

උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව අතරද කඳුකරයේ දෙමළ ප්‍රජාව අතරද ළමා විවාහ බොහෝ සිදුවේ. කඳුකරයේදීනම් නිවාස ප්‍රශ්නය සහ දරිද්‍රතාවය හේතුව බව පෙනේ.

සිංහල සහ දෙමළ ප්‍රජාව ගතහොත් මේ ප්‍රජාවන් දෙක තුළම ළමා විවාහ සඳහා නීතිමය දිරිගැන්වීමක් නැත. සිංහල සමාජය තුළ ළමා විවාහ දැන් දැන් පොතේ නොලියවී වයස සම්පුර්ණ වනතුරු ඔහේ පවතී. ඒවා සමහර වෙලාවට නිසි කළ වයස එනවිට කණ්ඩනය වී දරුවන් සමග ළමා විවාහයට පැටලුන අම්මා අසරණභාවයට පත්වී සිටිය හැක. වැලිඔය කලාපය තුළ එහෙම මවුවරුන් බහුලය. එනිසාම නිපන් ප්‍රශ්නද ඒ අඩවියේදී සුළභය.

මුස්ලිම් ජනසමාජය ගතහොත් ඔවුන් සඳහා පවතින මුස්ලිම් විවාහ නීතිය තුළ ළමා විවාහ සඳහා ඉඩ ලැබී ඇත. ඇත්තටම මුස්ලිම් ජනසමාජය තුළ ළමා විවාහ සඳහා විශාල අනුග්‍රහයක් ඇති බව පෙනෙයි. මේ මුස්ලිම් නීති තත්ත්වය වෙනස් කිරීම සඳහා කාලයක සිට විශාල වෙහෙසක් මහංසියක් ගත්තත් එයට ප්‍රථිවිරුද්ධව මුස්ලිම් සමාජයේ මුස්ලිම් පිරිමින්ගෙන් (අලි සබ්‍රි වැනි)  එන බලවත් විරෝධය නිසා තවමත් ඒ අනපනත් සංශෝධනය කරගන්නට අවශ්ථාව උදාවී නැත. අනෙක් පැත්තෙන් සිංහල දේශපාලන නායකත්වයද මේ ප්‍රථිසංස්කරණ සඳහා වඩා වැඩි මැදිහත්වීමක් නොකරයි. එයට හේතුව ඔවුන් සතු ඡන්ද කුට්ටිය මේ හේතුව නිසා කොයි අත කැරකෙයිද යන කුකුසයි. පාස්කු ප්‍රහාරය නිසා ආ තල්ලුව ඔස්සේ හෝ මේ නීති පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නට නොහැකිවුණේ මේ කාරණය නිසා ය.

ඊළඟට විලාසිතාවට ජාතිවාදී නොවී සිටින ඊනීයා රැඩිකල්වාදීන්ගේ සාකච්ඡා වටමේසයන්ද මේ නීති අණපනත් ප්‍රමාද කරයි. මාවනැල්ලේ බුදුපිළිම බිඳිනවිට එවක මා සේවය කළ ස්ථානයේ බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වුණේ මෙය අන්තවාදී සිංහලුන්ගේම වැඩක් බවය. ඒ ජාතිවාදය අවුලවා මුස්ලිම් ජනප්‍රජාවට විරුද්ධව සිංහළුන් කුපිත කිරීම සඳහා ය. එහෙත් අද එළිදරව් වී තිබෙන සත්‍ය එයට හාත්පසින් වෙනස් ය. එම බුදුපිළිම බිඳීම සිදුවූ විට ඒ අරඹයා නිවැරදි පරීක්ෂණයක් සීඅයිඩීය තුළ එවකදී සිදුවුණේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට ඉඩ තිබුණි. එය එහෙම වුණානම් නැවතත් රාජපක්ෂවරයෙක්ට ජනාධිපති වන්නට නොහැකි තත්ත්වයක් උදාවෙන්නට ඉඩ තිබුණි. එය එසේ විනි නම් අද මේ උදාවී තිබෙන අභාග්‍ය උදා නොවන්නට ඉඩ තිබුණි. මෙලෙස සිතන සිංහල රැඩිකලුන් නැගෙනහිර මුස්ලිම් බහුතරය වෙසෙන කලාපයට ගොස් බැලිය යුතුය. දකුණේ සිංහල අන්තවාදීන් ක්‍රියාත්මක වන්නේ යම් සේද එහි මුස්ලිම් අන්තවාදය සිංහල අන්තවාදයට වඩා කීපගුණයක ප්‍රචණ්ඩත්වයක් තුළ ක්‍රියාත්මක වෙයි.

එනිසා පොදු සමාජයේ යහපැවැත්ම පිළිබඳ වූ ප්‍රශ්න දෙස බලනවිට අපි ජාතිවාදී කෝනයකින් නොබැලිය යුතුය. මුස්ලිම්වරුන් සුළු ජාතිය කියා හෝ ඔවුන්ගේ සංස්කෘතිය තුළ දීර්ඝ කාලයක් ළමාවිවාහ සංස්කෘතිය පැවතී ඇති නිසා හෝ ඔවුන්ට ඒ සඳහා තවදුරටත් ඉඩ දිය යුතුයැයි කෙනෙක් කියන්නේ නම් එය මුග්ධ ප්‍රකාශයක් ය. එනිසා අපි බලකළ යුත්තේ උඩරට විවාහ නීතිය මෙන්ම මේ මුස්ලිම් විවාහ නීතියත් අහෝසිකර මේ ප්‍රජාවන් සියල්ලම එක විවාහ නීතියක් යටතට පත්කළ යුතු බවටය. මුස්ලිම් නීතිය උඩරට නීතිය යාපනේ නීතිය ආදී ලෙස නීති විශාල සංඛ්‍යාවක් අවශ්‍ය නැත. සෑම ජනවර්ගයක්ම එකම නීතියක් යටතට පත්කළ යුතුය.

සමේ පැහැය අනුව අදහන ආගම අනුව කන කෑම බීම අනුව නීති අණපනත් ක්‍රියාත්මක කරන්නට ගියහොත් එතන උදාවෙන තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

එනිසා වහාම ළමා විවාහ වලට අනුබල දෙන මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම නොව අහෝසි කිරීම කළ යුතුය. ඊළඟට පොදුවේ ළමා විවාහ සඳහා අනුබල සපයන සමාජ තත්ත්වයන් වෙනස් කිරීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතුය. ඉඩම් ප්‍රශ්න මෙන්ම ආර්ථික ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදිය යුතුය. එය එසේ නොවෙන තාක් ළමා විවාහ මේ ජන ප්‍රජාවන් තුන තුළම තවදුරටත් පවතිනු ඇත.

වීඩියෝව : https://youtu.be/ENZ3HdsAIKw

: https://www.youtube.com/channel/UC-OIsxw46oOBtDk5OsMyFIw

Social Sharing
නවතම විශේෂාංග