රාජ්‍ය මාධ්‍ය අසාර් ථක වීම රජයට අමතර බරක්.

රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියි.

එබැවින් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

එහිදි පැහැදිලිවම රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව පිළිගත් ඒ මහතා ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බවත් සඳහන් කළේය.

රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීම සඳහා එක් ආයතනයකට මසකට මිලියන 35ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එය සමහර ආයතන සඳහා මිලියන 45ක් පමණ වන බවත් මෙහිදි අනාවරණය විය.

එයට අමතරව රූපවාහිනී නාලිකාවන් තුළ ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය තුළ ඉතා වැදගත් කරුණු මගහැරෙන බවත් එනිසා පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක්වු අතර, අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසටය.

උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් 85%ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම සහ ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ටද අධ්‍යාපනය ලබා දෙන බවය.

මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිල ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බවයි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල වලට දමිල සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ අමාත්‍යාංශයට අදාළ කිසිදු නව ඉදි කිරිමක් සඳහා රජයෙන් මුදල් වෙන් නොකෙරෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

 

 

Social Sharing
නවතම