ඉන්ධන අර්බුදයෙන් ජනතාව රත් වෙයි!

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පහුගිය සමයේ පොලිස් අත්අඩංගුවට පත් වුයේ ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වන බව මාධ්‍යයට ප්‍රකාශ කිරිම නිසාය.

එවකට ආණ්ඩුව පැවසුයේ ඔහු කිය දේ අසත්‍ය බවත් මාස හයකට සරිලන ඉන්ධන ලංකාවේ ඇති බවත්ය. ආණ්ඩුව එසේ කීවද තවමත් තෙල් අර්බුදය ඇත්තේය. අද වන විට එය උග්‍ර වී ඇත.

ලංකාවේ ආර්ථිකය කඩා වැටීමත්, ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ ලකාවට තෙල් මිල දී ගැනිම බරපතල ප්‍රශ්නයක් වු බව සියලු දෙනා දන්නා කරුණකි.

මේ නිසා අපට විවිධ රට වලින් ණය ලබා ගැනීමට සිදු විය. එහි අලුත්ම ආරංචිය වුයේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු පැවසු පුවතය. ඒ් ඉකුත් 17 දාය.

ලංකාදීපය එම පුවත වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සම්බන්ධතාව මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් විශේෂයෙන් පෙට්‍රල් සහ ඩීසල් ආනයනට එම මුදල යොදවන බවත් එහි නිලධාරියෙකු සඳහන් කළ පුවතය.

මේ අතර ඉතා කඩිනමින් ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.  සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා  පෙරේදා (18) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වේ.

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඛන්ඩව ඉහළ යන බැවින් තවදුරටත් තෙල් මිල ඉහළ නොදමා සංස්ථාව පවත්වා‍ගෙන යා නොහැකි බව ඛනිජ තෙල් සභාපතිවරයා එහිදි අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙන අතර  සංස්ථාවේ ඉල්ලීම සලකා බලා තෙල් මිල වැඩි කිරීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සුමිත් විජේසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

සුමිත් විජේසිංහ මහතා පවසන පරිදි පෙට්‍රල් ලීටරයකින් ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 16 ක පාඩුවක් ලබන අතර ඩීසල් ලීටරයකින් රුපියල් 30 ක පාඩුවක් ලබමින් ඇත.

මේ අතර හෙට (21) දින සිට ආරම්භ කිරීමට තිබු දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු කල් දමා ඇත.  ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා  ඊයේ  (19) පවසා ඇත්තේ දුම්රිය ධාවනය  බ්‍රහස්පතින්දා  සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවෙන්නේ යැයි ප්‍රධාන මෙහෙයුම් කණ්ඩායමක් වන දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවකි.

මෙම අවලංගු කිරීමට හේතුවක් සෞඛ්‍ය ගැටලුවක්ද? එසේ නැත්නම් වෙනයම් ගැටලුවක්ද? යන්න සොයමින් සිටින බව ද  ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ඉන්ධන බවුසර් කිහිපයක්ම ඊයේ (19) දින මුතුරාජ වෙල හා කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණ වෙත ගොස් තිබුණේ දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා බවුසර් පුරවා ගැනීමටය. නමුත් සියලුම බවුසර් ආපසු පැමිණ ඇත්තේ හිස් අතිනි. ඔවුන්ට ඉන්ධන ලබා දීමක් සිදු කර තිබුණේ නැත.

ඒ් ඉන්ධන නැති බව ප්‍රකාශ කරමිනි. මේ නිසා අද (20) දින උදෑසන සිටම විවිධ ප්‍රදේශ වල ඉන්ධන පිරවුම්හල් වල දිගු පෝලිම් තිබුණේ ඉන්ධන රැස් කර ගැනීමටය.

ශානි

 

 

Social Sharing
නවතම විශේෂාංග