මත්ද්‍රව්‍ය ජාවාරම හෝ එයට අනුබල දීම කලක් තිස්සේ සිදු වුනා – DIG රවි සෙනෙවිරත්න (විශ්‍රාමික)

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ සේවයේ නියතුව සිටි පොලිස් නිලධාරීන් 18 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ  පැවැති නඩු විභාගයේ දී අතිරේක සොලිස්ටර් ජෙනරාල් දීලිප පීරිස් මහතා විසින් මෙම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරැ ලැබී ඇති නිසා රදවාගෙන ප්‍රශ්ණ කිරීම සදහා අවසර ඉල්ලා සිටි බව ලංකාදීප වාර්තා කරයි.

ඒමෙන්ම මෙම නිලධාරීන්, ශ්‍රී ලංකාවට කුඩු ගෙන ඒමට, ඒවා පැකට් කර බෙදා හැරීමට, මෙන්ම කුඩු අල්ලා අපරාධකරැවන්ගේ සංතෝෂම් ගැනීමටත්, රජයෙන් සම්මාන හා තාග්‍ය ලබා ගැනීම සදහාත් කටයුතු කර ඇති බවත්, සමහර නිලධාරීන් මුදල් නෝට්ටු අච්චු ගැසීමට සම්බන්ධ බවට ද තොරතුරැ ලැබී ඇති බවත්, පාතාලය වෙත අයුධ සැපයීමට ද මෙම සමහර නිලධාරීන් සම්බන්ධ බවත්  දීලීප පීරිස් අධිකරණයේ දී  ප්‍රකාශ කළ බව ඒම වාර්තාවේ තව දුරටත් සදහන් වේ.

මේ අතර මේ සම්බන්ධව බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බවයි. ඒමෙන්ම, ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බව ද ඔහු පවසයි.

යුක්තිය පසිඳලීම වෙනුවෙන් කැප වූ දක්ෂ විමර්ශන නිලධාරියෙකු ලෙසින් අධිකරණ ක්ෂේත්‍රයේ කීර්තියක් දිනා සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසන්නේ මෙය අලුතෙන් හෝ අහම්බෙන් මතු වූ තත්ත්වයක් නොවන බවයි. මත්ද්‍රව්‍ය මැඩලීමේ නාමයෙන් කිසියම් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම හෝ එයට අනුබල දීම කලක් මුළුල්ලේ සිදු වූ බවට ඔහු චෝදනා කරයි.

එබැවින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සියලුම අධ්‍යක්ෂවරුන්ගේ සහ කාර්යාංශය භාරව සිටි සියලු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් අවධාරණය කර තිබේ.

 

Social Sharing
නවතම