PTA පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වළකින්න – NPC ය රජයෙන් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වැළකී සිටින ලෙස ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය  රජයෙන් ඉල්ලා සිටියි.

ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සහ මෑතකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශ වලින් ඇඟවෙන්නේ රජය වැදගත් ප්‍රතිපත්ති වෙනස්කම් ගැන කල්පනා කර ඇති බවකි.

රට තුළ “ත්‍රස්තවාදය ඇති කළ ගැටලු විසඳීමේ” අවශ්‍යතාවය පිළිබඳ සඳහනක් මේවාට ඇතුළත් බවද  ලබන වසර තුළදී නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට හමුදා සංවත්සරයේදී ජනාධිපතිවරයා ද පොරොන්දු වු බවද ජාතික සාම මණ්ඩලය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හිදී මෙම මස මුලදී ජනාධිපතිවරයා කියා සිටියේ, “ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා ආරක්‍ෂිත අනාගතයක් ගොඩනැගීම මගේ රජයේ අරමුණ වන අතර  මෙම ක්‍රියාවලිය සඳහා සියළුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට අපි සූදානම්. ” බවය. එමෙන්ම  ඩයස්පෝරාව සමඟ කතා කිරීම ගැන ද ඔහු කතා කළ බව සිහිපත් කරන සාම මණ්ඩලය අවධාරණය කරන්නේ  මෙම හැඟීම් රට තුළ මෙන්ම ජාත්‍යන්තරව ද අනුනාදයක් සෙවිය යුතු බවය.

දිගු කල් පැවති ගැටුම් නිරාකරණය කර සාක්ෂාත් කර ගැනීම සඳහා විශ්වාසය නැවත ගොඩනැංවීම අවශ්‍ය වන අතර පසුගිය රජය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  සංශෝධනය කිරීමට රජය විසින් කමිටුවට නියෝග කර ඇති බව පෙන්වා දෙන මෙම නිවේදනයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතිසංස්කරණ අවසන් වන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය නතර කරන ලෙසටය.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලයක් රඳවාගෙන සිටින අය නඩු විභාගයකින් තොරව නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

සංහිඳියාව යන්නෙන් අර් ථ  දැක්වෙන්නේ බෙදුණු අතීතයක් හවුල් අනාගතයක් බවට පරිවර්තනය කිරීම බවත්  සබඳතා නැවත ගොඩනඟා ගැනීමෙන් මෙය සිදු කෙරෙන බව පෙන්වා දෙන ජාතික සාම මණ්ඩලය දෙමළ සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ තමන්ගේම ධ්‍රැවීකරණ ස්ථාවරයන්ට ඇලී සිටිනවාට වඩා විවාදාත්මක කරුණු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගත යුතුව ඇතැයි අවධාරණය කර සිටියි.

එසේම ආණ්ඩුවේ අවධාරණය විය යුත්තේ රටේ තේරී පත් වූ දෙමළ හා මුස්ලිම් නායකයින් සමඟ දැන් කතා කිරීම බවද  මෙවැනි ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුවහොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාව සඳහා පසුබිම වඩාත් හොඳින් සකස් වනු ඇති බවත් සාම මණ්ඩලය විශ්වාස කර සිටියි.

Social Sharing
නවතම