සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට  යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ  බන්ධනාගාරයේ  වහළය මත නැගී  සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමින් සිරකරුවන් පිරිසක් පසුගිය මාසයේ  ආරම්භ කළ  විරෝධතාවයට ඔක්තෝබර් 12 වැනිදා වන විට දින 22 ක් සම්පුර්ණ වී ඇති බවය.

GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කෙරෙන පසු බිමක සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම සිරකරුවන්ගේ   අපේක්ෂාව වී තිබේ.

“යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය පිණිසයි. සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට වහා මැදිහත් වන්න,” යයි විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ අතැති සුදු පැහැති  බැනරයක කළු පැහැති අකුරෙන්  සදහන්ව ඇත.

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයන් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව ජනාධිපතිවරයා එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කළ දාට පසුදා, එනම් සැප්තැම්බර් 20 වැනිදා, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා  විරෝධතාවය ආරම්භ කර තිබුනි.

රැඳවියන්ගේ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් දීමට තමන්ට නොහැකි බව කියන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුගිය මාසයේ  ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ  සිරකරුවන්ගේ  ඉල්ලීම් සම්බන්ධයෙන්  නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මේ වන තෙක් ඔවුන් කිසිවක් ප්‍රකාශ කළ බවක් දැනගන්නට නැත. සිරකරු දිනය නිමිත්තෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනකු ජනපති පොදු සමාව යටතේ  පසුගියදා නිදහස් කර තිබුනි.

මරණ දඬුවම නියම වී සිටින සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන් 1,500 දෙනෙකු පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින බව  ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටි  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති  ධුරටයද පත් කරන ලදී.

දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ අවස්ථාවේත්  වැලිකඩ හා මහර ඇතුළු බන්ධනාගාර කිහිපයක සිරකරුවන් පිරිසක් තමන්ටද නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින්  විරෝධතා දියත් කර තිබුනි.

ඊයේ (12) දිනයේ වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ සිටි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් වෙත පවසා තිබුනේ නිදහස ඉල්ලා විරෝධතාවයේ නිරත වන්නේ  නිදහසට සුදුසුකම් ලත් පිරිසක් බවයි.

නමුත් වැරදි කරන ආණ්ඩු හිතවාදී පිරිස පමණක් නිදහස් කිරීමට රජය කටයුතු කරන බවටත් සුදේශ් නන්දිමාල් සිල්වා චෝදනා කළේය.

” අපි හිතනවා ඉදිරියේදී චොකා මල්ලිවත් දුමින්ද සිල්වා වගේම මේ ගොල්ලෝ නිදහස් කරයි කියලා. නමුත් ඒ ගොල්ලෝ නෙමෙයි නිදහස් කළ යුත්තේ. ඒ ගොල්ලෝ අවුරුදු පහක් වැනි කෙටි කාලයක් තුළ තමයි දුමින්ද සිල්වලා බන්ධනාගාරයේ සිටියේ.නමුත්  අවුරුදු විස්සට වැඩි සිරකරුවොත් මේ බන්ධනාගාර තුළ තාම දුක් විදිනවා.”

වයස්ගත සිරකරුවන් මෙන්ම විවිධ රෝගබාධයන්ගෙන් පෙළන සිරකරුවන්ද දීර්ඝ කාලීනව බන්ධනාගාර තුළ දුක් විදින බව නන්දිමාල් සදහන් කළේය. එම සිරකරුවන්ට නිදහස ලබා දීම සදහා බන්ධනාගාර ආඥා පනතේ ම ප්‍රතිපාදන පැවතියත් නිදහස ලබා දීම වෙනුවට සිරකරුවන් වධ හිංසනයට  පත් කරන බවට ඔහු තව දුරටත්  චෝදනා කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස්  සැප්තැම්බර්  19 වැනිදා හමුවූ අවස්ථාවේදී පවසා තිබුනේ දීර්ඝ කාලීනව අත්අඩංගුවේ සිටින ද්‍රවිඩ තරුණයන්ගේ  නීති කටයුතු අවසන් වු වහාම  එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට පවා තමා නොපැකිළෙන බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනා රහිතව  දොලොස් වසරකට වැඩි කලක්  සිරගත කොට සිටි කදිරවේලු කබිලන්  නැමැති දෙමළ  තරුණයෙක් අධිකරණය විසින් පසුගියදා  නිදොස් කොට නිදහස් කර තිබුනි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව  යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා දිවයිනට පැමිණ සිටි  යුරෝපා සංගමයේ  විශේෂ  දූත මණ්ඩලය මෙරටින් පිටව ගියේ   පසුගිය පස් වැනිදා යි.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ දී  ඔක්තෝබර් 4 සදුදා  පෙරවරුවේ  පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පවසා තිබුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවයි.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය  ජුනි මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි. කෙසේ වෙතත්, යුරෝපා දූත මණ්ඩලය  බන්ධනාගාර රැඳවියන් හමුවූ බවක් දැනගන්නට නැත.

ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවීමේ අවදානමක්  මතුව පවතී.

GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරනු ඇති අතර, එහිදී සුළු ජාතීන්ගේත්, කම්කරුවන්ගේත් අයිතිවාසිකම් රැකීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින්  පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන  විශ්වාසයෙනි.

Social Sharing
නවතම