ගුවන්තොටුපළ PCR පරික්ෂණාගාරය වැසීම ගැන සෞඛ්‍ය ඇමති නිහඬ ඇයි?

හෝටල් නිරෝධායන මාෆියාවට යටවූ ආණ්ඩුවට ගුවන්තොටපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති බවත් තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නිහඩව සිටින්නේ කුමක් නිසාදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු  මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

කොවිඩ් වසංගත තත්වය නිසා මේ  රටට එන සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරලා ඔවුන් නිරෝධායනයට යොමු කළා. ඒක ක‍්‍රමානුකූලව ඉවත් කරමින් ආරක්ෂිතව පුද්ගලයින් රට තුළට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ලෝකයේ රටවල් ආරම්භ කළා.

හැමෝම හෝටල්වල රඳවන්නේ නැතිව දියුණු ක‍්‍රමවේදයන්  ආරම්භ කළා. අපේ ගුවන්තොටුපොලේ මේ වගේ ක‍්‍රමවේදයක් ආරම්භ කළ බව මාධ්‍ය වල ප‍්‍රසිද්ධියට පත් කළා. පී.සී.ආර්. පරික්ෂණ  කරලා, ගුවන්තොටුපළේ  රඳවාගෙන පැය තුනක් ඇතුළත වාර්තාව ලබාදීමේ  ක‍්‍රමවේදයක් හදලා තිබුණා. විදේශිය සංචාරකයින්ගෙන් ඩොලර් 40ක් අය කළා. දේශීය අයගෙන්, විදේශගත ශ‍්‍රමිකයින්ගෙන් මුදල් අය කරගන්නේ නැතිව පී.සී.ආර්. පරීක්ෂණය කරලා ගෙදර යෑමේ අවස්ථාව ලබාදී තිබුණා.

මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙන්න කලින් ගුවන්තොටුපල ආශ‍්‍රිතව විශාල මාෆියාවක් ක‍්‍රියාත්මක වුනේ. හෝටල් නිරෝධායනය කියලා විශාල මුදලක් ගසා කෑවා. ව්‍යාපාරික කණ්ඩායමක් හා නිලධාරීන් එකතුවෙලා, හෝටල් අයිතිකරුවන් එකතුවෙලා ගසා කෑවා. නිරෝධායන වැඩපිළිවෙල ක‍්‍රියත්මක කරන විට එක් අයෙක්ගෙන් නිරෝධායනයට ලක්ෂ දෙක තුනක් අය කරනවා. මැද පෙරදිග මාස හය හතක් හම්බකරගත් මුදල් හෝටල්වලට දෙන්න වුනා.

මේ  නිසා හෝටල් නිරෝධායනය මාෆියාව ඉවත් කරන්න කියලා අපි කිව්වේ  ඒකයි. දැන් අර ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණ කරන එක නතර කරලා තියෙන්නවා. මේ  හෝටල් මාෆියාව, නිරෝධායන මාෆියාව නතර කිරීමට ආණ්ඩුවට නොහැකිවෙලා. ආණ්ඩුව කූඨ ව්‍යාපාරිකයින්ට යට වෙලා.

ඩොලර් මිලියන 5ක් වියදම් කරලා හදපු පී.සී.ආර්. මධ්‍යස්ථානය යළිත් සක‍්‍රිය කරන්න. ලෝකයේ හැමෝම පිළිගන්නා ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරන්න. හෝටල් මාෆියාව වහාමනතර කිරීම ආණ්ඩුවේ වගකීමක්. සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් නිහඩ ඇයි? සෞඛ්‍ය ඇමැතිවරයාම විවෘත කළ පී.සී.ආර්. මධ්‍යස්ථානය වහලා දාපු එක ගැන ඔහුවත් කතා කරන්නේ නෑ. මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

Social Sharing
නවතම