PTA පනත යටතේ වසර 12 ක් සිරගතව සිටි තරුණයා නිදොස් කොට නිදහස් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනා රහිතව  දොලොස් වසරකට වැඩි කලක්  සිරගත කොට සිටි දෙමළ  තරුණයෙක් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ විසිනම වියැති කදිර්වේලු කබිලන්  නැමැති තරුණයෙකි.

ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, සින්නපනම්කාට්ටෙයි පදිංචිකරුවෙකි.

උතුරේ යුද්ධය නිමා වීමත් සමගම 2009 වසරේ මැයි 20 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති කදිර්වේලු කබිලන්  වසර එක හමාරක කාලයක් රැදවුම් නියෝග යටතේ තබා ගැනීමෙන් පසු මොණරාගල මහේත්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි 2011 වසරේ පෙබරවාරි 15 වැනි දා සිට සිරගත කර තිබේ.

එතැන් සිට මේ දක්වා කදිර්වේලු කබිලන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කොට නැති  බව ඔහු  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. පංචාඩ්චරම්  අධිකරණයට දැනුම් දීමෙන් පසු  සැකකරු නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය සතියේදී අධිකරණය නියම කර ඇත.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා  සිටි  සැකකරුගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඊයේ (10) ඔහු නිදහස් කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව  යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා දිවයිනට පැමිණ සිටි  යුරෝපා සංගමයේ  විශේෂ  දූත මණ්ඩලය  පසුගිය පස් වැනිදා මෙරටින් පිටව ගොස් තිබුනි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇති පරිදි   යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ දී  ඔක්තෝබර් 4 සදුදා  පෙරවරුවේ  ජනාධිපතිවරයා සාකච්ඡාවක් පවත්වා තිබු අතර ඔහු එහිදී පවසා තිබුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බවයි.

Social Sharing
නවතම