මාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!

වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදෙන ලෙස මාර්තු 12 ව්‍යාපාරය සමස්ත දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියි.

පැන්ඩෝරා පත්‍රිකා නාම ලේඛනයට මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධ වීම ගැන සිය ස්ථාවරය සඳහන් කරමින් මාර්තු 12 ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙකී නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ලොව විවිධ පෙදෙස්හි වෙසෙන දුසැරියට හා සොරකමට එරෙහි වෘත්තිකයන් මෑත කාලීනව හෙළිකොට ඇති අප රටින් එපිට එනම් අක්වෙරල සමාගම් හා එවැනි සමාගම් සමඟ  සබඳතා පවත්වමින් ඉමහත් ධනයක් අප්‍රකාශිතව රැස් කොට  ඇති විවිධ පුද්ගලයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් නැවතත් කරලියට පැමිණ ඇත.

ඒ පැන්ඩෝරා පත්‍රිකා මඟිනි. ඊට පෙරද අවස්ථා ත්‍රිත්වයකදී එලෙස ජනගත කරන ලද තොරතුරු සම්භාරය කවර රටක හෝ පුරවැසියෙකුගේ දොම්නස හා කළකිරිම වර්ධනය කරන්නේ යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. එකී පත්‍රිකා තුළ ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේද නම් සඳහන් වීම පිළිබඳව මෙරටේ යුක්ති ගරුක පුරවැසියන් සේම  මාර්තු  12 ව්‍යාපාරයද තම බලවත් අවධානය යොමුකොට සිටී.

අල්ලස හා දුෂණය මෙන්ම අප්‍රකාශීතව  ධනය රැස්කිරීම මෙරටේ සුලභව දක්නට ඇත්තේ වසර 1978 හඳුන්වා දුන් විවෘත ආර්ථික පිළිවෙතත් සමඟ බව නොරහසකි. එහි වඩාත් සැලකිය යුතු මට්ටමේ එක් දුර්විපාකයක් වූයේ එකී ආර්ථික හා සමාජ පෙරළිය හමුවේ සමාජ අපවාදයට පත් යම් පිරිසක් මෙරටේ ව්‍යවස්ථාදායකය හොබවීම හා නීති සම්පාදකයන් බවට පත්වීමයි. එහි අවසන් ප්‍රතිඵලය සැබෑවට පත්ව ඇත්තේ වෙන අන් කවරක් හෝ නොව මෙරටේ දේශපාලනය හා දේශපාලකයන්  පුරවැසි අප්‍රසාදයට පත්වීමයි. ඊට සමගාමිව දක්නට ඇති තවත් ප්‍රවණතාවක් වන්නේ පැන්ඩෝරා පත්‍රිකා මතුනොව අනෙක් විවාදාත්මක කරුණු කෙරෙහි එක් එක් දේශපාලන පක්‍ෂ නිමක් නැති චෝදනා සමුදායක් එකිනෙකා වෙත එල්ල කරමින් සිටීමයි.

මෙම චෝදනා සියළුම දේශපාලනඥයින්ට අදාළ නොවුව ද මේ හරහා එක් පැත්තකින් රටේත් දේශපාලනඥයින්ගේත් සමාජ ප්‍රතිරූපය බරපතල ලෙස බිඳ වැටි ඇත. අනෙක් අතට මෙම දේශපාලනඥයින්ගේ දුෂිත ගනුදෙනු හරහා මහජන දේපළ මංකොල්ල කෑමකට ද ලක්වෙමින් පවති. මේ තත්ත්වය වෙනස් කිරීම එක් ක්‍රියාමා¾ගයකින් කළ නොහැකි වුව  ද වර්තමාන පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් දුෂණය හා අල්ලසට විරුද්ධ නම් එකිනෙකාට චෝදනා කිරීම නවතා ඔවුන්ට ගත හැකි කඩිනම් ක්‍රියාමාග කිහිපයක් තිබේ.

  1. තම වත්කම් බැරකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීම. (පිරිසිදු දේශපාලනයක් සඳහා වන පාර්ලිමේන්තු සාමුහිකයේ මන්ත්‍රිවරුන් කිප දෙනක් දැනටමත් මෙය ප්‍රකාශයට පත්කර ඇති බව ඔවුනට ගෞරවයක් ලෙස සඳහන් කරමු)
  2. මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම යටතේ ප්‍රකාශයට පත්කිරීම අනිවා¾ය කිරිමට අදාළව නීති පැනවීම.
  3. වත්කම් බැරකම් ප්‍රකාශවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරිමට හා වා¾ෂිකව විශ්ලේෂණය කිරීම සඳහා සුදුසු ස්වාධීන යාන්ත්‍රණයක් සකස් කිරීම.
  4. වැරදි තොරතුරු සැපයීම හා ඔප්පු කළ නොහැකි ආදායම් මාර්ග හරහා උපයාගෙන ඇති ධනය රාජසන්තක කිරීම සඳහා අවැසි නීති සම්පාදනය කිරීම.

අප මාර්තු 12 ව්‍යාපාරය  ලෙස දැඩිව විශ්වාස කරනුයේ ඔබගේ වත්කම් ජනගත කිරීමෙන් තොරව ඔබගේ අව්‍යාජබව මෙන්ම ඔබ නිසඟයෙන්ම දුසැරියට එරෙහි යැයි ප්‍රකාශ කළ නොහැකි බවයි. මෙවන් විධිමත් යාන්ත්‍රණයක් හමුවේ ඔබවෙත සැබෑ මහජන නියෝජිතයෙක් වීමේ ස්වර්ණමය මඟක් විවරව ඇති මෙවන් අවස්ථාවක එකී වත්කම් හා බැරකම් ප්‍රකාශ කොට ඔබ පිළිබඳ විනිශ්චය ඔබගේ ජන්දදායකයන් වෙත පවරා දීම කදිම හා ආදර්ශවත් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එමෙන්ම ඉහත සෙසු කරුණු වලට අදාළ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් හරහා ඊට අදාළ නීතීන් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකිය . එහි පෙරගමන්කරු වන  ලෙස අපි ඔබට ආයාචනය කරමු. ඔබ එයට අසමත් වුවහොත් ඔබ යහපත් පුද්ගලයෙකු වුවද ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔබගේ වගකීම පැහැරහැරියා වනු ඇත.  එම කටයුතු හරහා ඔබ දූෂණයට විරුද්ධ අයකු බව සමාජය ඉදිරියේ ඔප්පු කළ හැකිවනු ඇත.

තවද මෙහි පරම අභිලාශය වන්නේ ඔබසතු වත්කම් ප්‍රදර්ශනය නොව ඒවා පිළිබඳ යම් සංසන්දනාත්මක විග්‍රහයක් ඔස්සේ පුරවැසියා ප්‍රාර්ථනා කරන යහපත් මහජන නියෝජිතයෙක් තෝරාගැනීම සඳහා ඔවුන් වෙත ඇති ඉඩප්‍රස්ථා වඩාත් පුළුල් කිරීමයි.  එමෙන්ම පාර්ලිමේන්තු     මන්ත්‍රීවරුන්    හුදු      සම්පත් බෙදාහරින්නන් නොව ව්‍යවස්ථාදායකය හොබවන වැඩදායි නීති සම්පාදකයන් බව ප්‍රදර්ශනය    කිරීමේ අනගි අවස්ථාවද මෙමගින් එළඹෙන බව අපගේ පොදු විශ්වාසයයි.

එහිලා ඔබ මහජන වගකීම් භාරය රඳවා ගත් සැබෑ     නිර්ව්‍යාජ මහජන නියෝජිතයෙක් ලෙස ඉදිරියට පැමිණ මෙකී යහ භාවිතාව හා එක්වන ලෙස මාර්තු 12 ව්‍යාපාරය ඔබසැම වෙත කාරුණිකව ආයාචනා කිරීමට  කැමැත්තෙමු.

 

 

 

Social Sharing
නවතම