ජනාධිපති ආණ්ඩුවේ අසමත්කම පිළිගනියි.

ජනතාව බලාපොරොත්තු වුණ විදියට වැඩ වුණේ නැහැ කියලා තමන්  කෙරෙහි රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) පිළිගෙන ඇත.

දිනෙන් දිනම ආණ්ඩුව ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් කටයුතු කළා මිස ඔවුන්ට සහනයක් වන ආකාරයෙන් කටයුතු කළේ නැත. ඊට ආසන්නතම නිදසුන වන්නේ මිනිසුන් නිදා සිට පසුදා එළිවද්දි ගෑස් මිල විශාල මුදලකින්  ඉහළ දමා තිබිමය. ගෑස් මිල , සහල් මිල පාලනය කර ගැනීමට මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත.

ආණ්ඩුවේ මේ නොහැකියාව ගැන ජනාධිපතිවරයා පිළිගැනීම එක අතකින් සතුටට කරුණකි. නමුත් ඔහු පහුගිය කැබිනට් රැස්වීමේදීද ස්වයං විවේචනයක යෙදී තිබුණි. මේ ආකාරයෙන් ඔහු කටයුතු කිරිමට එක්තරා ආකාරයකට යම් සැකයක්, කුතුහලයක් දනවන කරුණකි. ඒ් යළිත් ජනතාව මං මුලා කිරිමක්දෝ යන්නය.

කෙසේ නමුදු ජනාධිපතිවරයා ඊයේ පවසා ඇත්තේ ආණ්ඩුවේ අසමත්කම පිළිගන්නා අතරම කොවිඩ් තත්වය පාලනය කර නව ජවයකින් රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරන බවට පොරොන්දු වන බවය. ජනාධිපතිවරයා මේ බව කියා තිබුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර උත්වසයට සහභාගී වෙමිනි.

එහිදි ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ නිදහසට කරුණු නොකියන බවත්  එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න යැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවය. එක රටක, එක නීතියක් අනුව කටයුතු කිරිමේ නායකයා වන්නේ රටක ජනාධිපතිවරයාය. එහි බලතල ඇත්තේ ඔහුටය. රටේ ජනතාව හැමදාමත් ඉල්ලුවේ එයය. නමුත් ජනධිපතිවරයා දැන් එය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මන්ද යන්න ගැටලු සහගතය.

එසේම මෙහිදි ඔහු තව වැදගත් කරුණක් කියා තිබුණි. ඒ් ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවය.  දූෂණයට, වංචාවට ඉඩ නො තබන අතර ඒ සඳහා කැපවෙමින් සියලු ම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ද මෙහිදී ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බැවින් අගමැති සහ කැබිනට් මණ්ඩලය එකතුවී සාමූහිකව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් විසිවන සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගෙන ඇති බවය.

ඒ අනුව දැන් කළ යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යාම බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ආණ්ඩුව විපක්ෂය සමග සාකච්ඡා කර රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට එකඟතාවයට පැමිණිය යුතු බවද අවධාරණය කර සිටියි.

විසිවන සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

 

Social Sharing
නවතම