ආරක්ෂාව මැද්දේ බූස්සේ ඇතුලට බඩු යන්නේ මෙහෙමයි.

බූස්ස හා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර වල රැඳවියන් රඳවා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැදය. විශේෂයෙන්ම බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින්නේ දරුණු ගණයේ යැයි පැවසෙන පුද්ගලයින්වය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසා තිබුණේ බූස්ස බන්ධනාගාරයේ සිටින පුද්ගලයින්ට කිසිදු දුරකථන ඇමතුමක්වත් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් සියල්ල ජෑමර් කර ඇති බවය. එමෙන්ම බන්ධනාගාරය ඇතුලතට කිසිවෙක් රැගෙන යාමේ හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කර තිබු ඔහු පෙන්වා දී තිබුණේ බූස්ස දැඩි ලෙස ආරක්ෂාවල් තර කර ඇති බවය.

නමුත් දැන් දැන් බූස්සේ බන්ධනාගාරය තුලින් ජංගම දුරකථන, සිම්පත් හමුවීමට පටන් ගෙන තිබේ. මෙහි ආරක්ෂාව දැඩි කිරිමෙන් පසුව පළමුව ජංගම දුරකථනයක් හමු වුයේ කංජිපානි ඉම්රාන්ගේ සිර කුටියේ තිබීය. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදීය. මෙහිදි සියලු දෙනාටම ගැටලුවක් වුයේ ආරක්ෂාව තර කර තිබියදීත් ඔහුට ජංගම දුරකථනයක් ලැබුණේ කෙසේද යන්නය.

අප වෙබ් අඩවියද මේ ගැන සියුම් නිරීක්ෂණයක නිරත විය. එහිදී මෙම තහනම් ද්‍රව්‍ය ඇතුලට යන එක ක්‍රමවේදයක් අනාවරණය කර ගැනීමට අපට හැකි විය.

බූස්ස බන්ධානාගරයේ ඇතුල් වන ස්ථානයේ පිහිටා ඇති ගොඩනැඟිල්ලේ සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ය. ඔවුන් බන්ධනාතාරය තුලට යන සෑම රැඳවියෙක්වම, ඔවුන්ව බැලීමට එන සෑම පිටස්තර පුද්ගලයෙකුවම එක්ස් කිරණ යන්ත්‍රය තුලින් යැවීමට අමතරව ළඟට ගෙන ස්පර්ශ කිරීමෙන්ද සෝදිසියට ලක් කරනු ලබයි. එහිදී ඔවුන් සතුව තිබෙන දුම්කොළ කැබැල්ල පවා නිලධාරීන්ට සොයා ගත හැකිය. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් දිනපතා දුම්කොළ කැබලි හමු වන්නේ ඒ අනුවය.

බූස්ස බන්ධනාගාරය තුල රාජකාරී කරන නිලධාරීන්ද පරික්ෂාවට ලක් කර යවන බව අප මීට පෙර ලිපියකින්ද පවසා තිබුණි. නමුත් මෙතැන රාජකාරි කරන්නේ දෙපාර්තමේන්තු දෙකක  නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් හෙයින් ඔවුන් අතර මත ගැටුම් ඇති විම සිදු නොවිය යුතුය.

නිල ඇඳුමෙන් සැරසුණු බන්ධනාගාර නිලධාරීන් බූස්ස බන්ධනාගාරය තුලට රාජකාරියට යන විට ඔවුන් පරික්ෂාවට ලක් කෙරෙන්නේ එක්ස් කිරණ යන්ත්‍රය හරහා පමණය. ඔවුන්ව ස්පර්ශ කිරීමකින් සෝදිසියට ලක් කෙරෙන්නේ නැත. ඔවුන් නිල ඇඳුමෙන් මේ යන්ත්‍රය හරහා ගමන් කරන බැවින් ඔවුන්ගේ පිත්තල බොත්තම් වලට යන්ත්‍රය දිනපතාම අනතුරු සංඥා නිකුත් කරනු ලබයි. නමුත් එම සංඥාව ලැබෙන්නේ ඔවුන්ගේ නිල ඇඳුමේ බොත්තම් වලටද නැතිනම් ඔවුන් ගෙන යන තහනම් භාණ්ඩයක් වෙනුවෙන්ද යන්න සෙවීමේ හැකියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට නැත. ඒ පෙර කී ආයතන ගැටුම් සිදු නොවිය යුතු නිසාය. ඒ අනුව දිනපතාම බූස්ස නිලධාරීන් පරික්ෂා කරනවා කිව්වාට සිදු කෙරෙන්නේ මේ එක්ස් රේ යන්ත්‍රය හරහා පමණය.

ඒ අනුව විශමාචාර ක්‍රියාවලියේ යෙදෙන ඕනෑම බන්ධනාගාර නිලධාරියෙකුට තහනම් භාණ්ඩ බූස්ස බන්ධනාගාරය ඇතුලට ගෙන යාමේ හැකියාව පවතියි.

මෙය ආරක්ෂාවේ ප්‍රබල හිඩැසකි. පහුගියදා ආරක්ෂක ලේකම්වරයා මෙහි නීරික්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදි ඔහු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ වරින් වර සිර කුටි සෝදිසියට ලක් කරන ලෙසය.

එසේ සෝදිසියට ලක් කෙරෙන විට ඇතුලට ගෙන යන ලද තහනම් ද්‍රව්‍ය මෙලෙස හමු වේ.

-ශානිකා-

පෙර ලිපිය –

http://www.aithiya.lk/%e0%b6%b6%e0%b7%96%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%bb%e0%b6%b3%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b1-%e0%b6%9a%e0%b6%82%e0%b6%a2%e0%b7%92%e0%b6%b4%e0%b7%8f/

Social Sharing
නවතම